Sunday, November 6, 2016

සිනා මල් මට කුමට....



අකල් වැසි කදුලු වල
විසල් සෙනෙහස රැගෙන
සිනා මල් දිවි මගේ පිපෙනවා...

වසන්තය නැති කලට
සිනා මල් මට කුමට
මං මගේ හදවතින් අසනවා...

සිව් වසක් පුරාවට
හිත රැදුනු මුලාවට
දෙනෙත් යුග හොරෙන් ඉකිබිදිනවා...

කවුරුවත් නැති ලොවක
මම හිතින් තනි වෙච්ච
ආදරය සිහිනයක් හිතෙනවා...

අතීතය සතු දිනක
සෙනෙහසින් අපි ලිව්ව
කවි පෙලක් බිම බලන් හඩනවා...

නුඹත් මට නැති කලෙක
කවි ලියන්නේ කුමට
කවි කමට ඉතින් තිත තබනවා...

  - විශ් -



Wednesday, October 26, 2016

වැස්සකට පුලුවනිය වසන්තය ගෙන එන්න.....


වැස්සකට පුලුවනිය
බොහෝ දේ කරවන්න
නිදාගෙන ඔහේ වුන්
කවි හිතක් ඇහැරන්න...

පාවෙනා මේකුලක
සැහැල්ලුව ගෙන එන්න
බොහෝ බර කදුලු බිදු
ඈතකට ගෙන යන්න

මිහිතලේ නිකැලැල්ම
මුදු සුවඳ  ගෙන එන්න
හිත පිරෙන හිරිකඩින්
හදවතම දෝවන්න

අතීතේ මතක පත්
සැනින් පා කරවන්න
සැහැල්ලුම නිමේශෙක
සමාධිය ගෙන එන්න

පමාවී ආවාට 
හේතුවක් නොකියාම
වැස්සකට පුලුවනිය
වසන්තය  ගෙන එන්න..



Saturday, October 22, 2016

මං කැමති ඇත්තටම....

මං කැමති ඇත්තටම
කැතම කැතම කොල්ලෙක්ට...
තෙල් බිදක් නොගෑවුන
රැළි ගැහුනු කොන්ඩෙකට

යටි පතුල් ගෙවී ගිය
ඉරි තැලුනු දෙපයකට
තැනින් තැන මල කාපු
ඉරී ගිය ඩෙනිමකට

කපන්නට හිතෙන් නැති
වැවුනු යටි රැවුලකට
හරි හමන් ජොබක් නැති
බිසී නැති කොල්ලෙක්ට

අත්ල මත හාදු පොදි
තවරනා දෙතොලකට
නිදි නැතුව රතු වෙච්ච
සෙනෙහෙබර දෙනෙතකට

අව්වටම පිච්චිච්ච
කලුම කලු මූනකට
ඇත්තටම මං කැමති
කැතම කැත කොල්ලෙක්ට....

Friday, September 2, 2016

දේදුණු.....




ලහිරු කිරණට මැදිව
වැටෙන වැස්සට හසුව
ඈත කදු නිම්නයක
සෙමෙන් මතු වෙන්නේය

ලපටි අත් ඔසවාන
අහස දෙස බලාගෙන
හඩ නගන ළමා සිත්
තුටින් පුරවන්නේය

විරසකව වෙන් වෙන්ව
දෙපසකට නෙත් යොමන
තුරුණු නෙත් යුග යලිත්
එකට එක් කරනේය

නෙත් සොරොව් කදුළු මැද
මුව නැගෙන සුසුම් අස
ඇසිපියක ඇසිල්ලෙන්
යලි බොදව යන්නේය...

-විශ්-

Tuesday, August 16, 2016

දින පොතකි මුහුණු පොත පිටු කැඩී විසිරෙච්ච......

පරිගණක තිරය මත
තාරුකා විසිරිච්ච
ට්‍රයිඩැක්ස් මල් සමඟ
තවත් මල් පීදිච්ච

මුහුණු පොත් පිටු පුරා
ආදරේ ඉතිරිච්ච
නුඹේ කවි හිත ගාව
පාළුවක් නොදැනිච්ච

හිරු ඇවිත් යන තුරුම
නිනව්වක් නැතිවෙච්ච
අපේ ලොව අපි දෙදෙන
විතරක්ම තනිවෙච්ච

ඔන්ලයින් ප්‍රේමයක
අපේ හිත් පැටලිච්ච
දිනපොතකි මුහුණු පොත
මකරන්ද ඉහිරිච්ච

කවි ලකර කඳුළු වී
දෙනෙත් අග දැවටිච්ච
මරණීය සීතලක
උණුහුමෙන් මියැදච්ච

විදුලියක වේගයෙන්
හදවතම නැවතිච්ච
කවියකින් මුණගැහී
කවියෙනම වෙන්වෙච්ච

ඉකි ගගහ අඩ අඩා
මගේ හිත වැලපිච්ච
කවි හිතක් විතරක්ම
දී ඔයා නික්මෙච්ච

කවුරුවත් නැති ලොවක
සිතින් මා තනිවෙච්ච
දින පොතකි මුහුණු පොත
පිටු කැඩී විසිරෙච්ච......

Saturday, August 13, 2016

වසන්තය වඩින තුරු


අතු පතර විහිදගත්
රූස්ස ගසක් පාමුළ
වසන්තය වඩින තුරු
මා මඟ බලා සිටියා

 සුළඟට හසුව රෙබරෝසි මල්
සිය දහස් වාරයක්
බිම වැටී මියයමින් තිබුණා
මිමෝසා පත්‍ර වල කොළ පැහැය
මගෙම කඳුළින්...
සේදී දියව ගොස් තිබුණා

පිපෙන්නට වැර දරන ඇහැළ මල්
නොපිපීම පරව ගොස් තිබුණා
මගේ දුක අසමින්ම
විලෝ පත් වැළපෙමින් සිටියා

අවරගිර අහසේ..
සහසකර බැසයමින් තිබුණා
මා හදෙහි රුධිරයෙන්
මේකුළු පවා
රත්පැහැ ගැන්ව තිබුණා..

අව් වැසි සුළි සුළන්
විටින් විට හමා ගොස් තිබුණා
ගිමන් කල පමණක්
සියොළඟම දැවටෙමින් සිටියා

දස දහස් වාරයක්
හිරු සඳු නැගී නුඹ ගැබ
නැවත බැසගොස් තිබුණා
පැයෙන් පැය දිනෙන් දින
කල්ප සුවහස් කළක්
නොදැනීම නික්ම ගොස් තිබුණා..

නොලියවුන කවියක්
ඉකිබිඳ හඬනු ඇසුනා


රූස්ස ගසක් පාමුළ
ගල් බන්කුවක හිඳගෙන
වසන්තය වඩින තුරු
මා මඟ බලා සිටියා...

Saturday, July 2, 2016

ස්තූතියි...



මේ බ්ලොග් එක  ආරම්භ කරලා දැන් අවුරුද්දකට ලගයි. ඒ කාලෙ ඇතුලත මට අවවාද දුන්න, වැරදුන තැන් කියලා දුන්න, හැමදාමත් මාත් එක්ක හිටිය  බ්ලොග් ලියන ම්තුරු මිතුරියන්ට ස්තූති කරන්නයි මේ පෝස්ට් එක දාන්න හිතුවෙ.

විශේශයෙන්ම මම බ්ලොග් ලියන්න ආව කාලෙ මාව එයාලගෙ කුරුටු සින්ඩියට එකතු කර ගත්තු කුරුටු  පවුලෙ හැමෝටමත්, බ්ලොග් ගැන කියලා දුන්න රූපෙ ටත්, මගෙ කවි අනිත් අය අතරට අරන් ගිය ඉයන් අන්කල්ටත් ගොඩාක් ස්තූතියි... එ වගේම අන්දකාර තාරකාව වෙනුවෙන් තමන්ගෙ බ්ලොග් දර්ශකේ ඉඩක් වෙන් කරපු අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයටත්, මන් වෙනුවෙන් පෝස්ට් එකක් දාපු යකාගේ නවාතැන බ්ලොග් එකටත්, ඹබර පත්තරෙ ආටිකල් එකක් දැම්ම අයේශි අක්කටත්,  මේ වෙලාවෙ ස්තූති කරනව.

නම් කියවුනේ නැතත් එදා මෙදා තුර මාත් එක්ක රැදිලා හිටිය හැමෝටම කියන්න අවසාන වශයෙන් තියෙන්නෙ මෙච්චරයි

                                                         ඔබට ස්තූතියි..!!!!!!!!!!

Saturday, June 25, 2016

වචන නැති කවියක්....

මල් කැකුලු පීදෙනා ගසකට
පෙර දිනක මැරුනු මල් මතකද?
නෙලුම් මල් පිරී ගිය විලකට
පුන්චි සුදු කුමුදු මල් ඇවැසිද?

හඩන්නට වරම් නැති නෙතකට
හිනැහෙන්න සිනාවන් කුමටද?
නොනිදාම පහන් කල රැයකට
සිහිනයක පෙර නිමිති අකැපද?

කිසිදිනක නොකියවූ පොතකට
වර්ණවත් පිටු වැසුම් මොකටද?
නිම්තෙරින් සමුගන්න සඳකට
සයනීය තේ බඳුන් අවැසිද?

ගිමන් කල ඉරි තැලුන ගඟකට
වසන්තේ වැටුනු වැසි මතකද?
පාතරාසය පිණිස හිතකට
හදවතක් දන් දෙන්න අකැපද?

කතර මඟ මෙදුර විත් තනියම
මගේ ලඟ සෙවනැල්ල විතරද?
නිස්සාර හදවතක ඉපදෙන
ප්‍රේමයත් මිරිගුවක් පමණද?

Monday, June 20, 2016

ඒ කාලෙ... හොඳම කාලෙ

ඒ කාලෙ 
හොඳම කාලෙ
ජීවිතේ... 
විඳපු කාලෙ

හොඳම යාළුවො
හිටිය කාලෙ
එකම බත් පත
රස බැලුව කාලෙ...

ආකහේ ඉරාගෙන
පියෑඹුව කාලෙ
හේතුවක් නැතුවත්
හිනාවුන කාලෙ

ඇහැල ගස් වල
මල් පිපුන කාලෙ
වසන්තය නාවත්
තුටින් හිටි කාලෙ

උදෑසන රැස්වීම
මගෑරිය කාලෙ
ප්‍රින්සිපල් දකිද්දිත්
බය හිතුනු කාලෙ

සුදු ගවුමෙ දැවටිලා
දඟ කරපු කාලෙ
ආයෙමත් එන්නෙ නැති 
සුන්දරම කාලෙ

ඒ කාලෙ
සැහැල්ලුම කාලෙ
ජීවිතේ 
විඳපු කාලෙ...

Saturday, May 14, 2016

විසල්, මම තනියම


වැහි බින්දු වැටෙන ලා අදුරක
තනිවෙලා විලෝ පත් සෙවණක
හිදින විට අතීතේ මතකෙක
සිහිවෙනව මට නුඹව නිතරම.          

ජීවිතේ සොදුරුතම යුගයක
ආදරෙන් අපි ගෙතුව සෙනෙහස
විසිරිලා ගිහින් දුර ඈතක
විසල් අද මම මෙතන තනියම.       

නිමක් නැති වේදනා දුක් ලග
ඉකි ගගහ අඩ අඩා වැලපුන,     
හිතත් දැන් හුරුවෙලා හොදටම
හදවතම වෙලාගත් අදුරට

මේ වගෙම වැසි වැටුන හවසක
වෙන් උනත් නුඹ මගෙන් සදහට
තාම මග බලන් ඉමි නිසලව
විසල් නුඹ ඒවි යැයි දවසක.


Tuesday, May 10, 2016

ස්නේහයෙන් සිත ගයයි


සොඳුරු යටගියාවක
මතකයන් සඟවමින්
හද විලේ පිපුණු මල්
සීරුවට ගලවමින්
රිද්ම් දුන් තැන් සොයා
නව පැතුම් අතුරමින්
ස්නේහයෙන් සිත ගයයි
ආයෙමත් ආදරෙන්.........

කඳුළකින් බොඳව ගිය
යුගය දෙස නොබලමින්
ගෙවී ගිය අතීතය
සිහිනයක තවරමින්
නුඹ වෙන්ව ගිය අයුරු
යළි යළිත් නොසිතමින්
ස්නේහයෙන් සිත ගයයි
ආයෙමත් ආදරෙන්......

ඉකිබින්ද හදවතට
සිනාවක් කැන්දමින්
පිණි වැටුණු නෙළුමක්ව
පිපෙන්නට සිත් දෙමින්
හමා යන මදනළක
සැහැල්ලුව ගෙන දෙමින්
ස්නේහයෙන් සිත ගයයි 
ආයෙමත් ආදරෙන්...........

Thursday, March 31, 2016

ඔසු උයනට සමුදීම ( සාරාර්ත 2)


එදා නතර කරපු තැනිනුයි අද පටන් ගන්නෙ. ඒ කියන්නෙ ඔසු උයනට ගිනි තියපු තැනින්...

ඔන්න ඉතින් අපේ කතාව අතරතුර යාලුවෙක් කෑ ගැහුවා මෙන්න ගිනි ගන්නවා කියලා. ඒත් එක්කම අපිට පෙනුනේ හුලඟට ඒ මේ අත වැනි වැනී තේක්ක ගස් වල උඩ තියන අතුත් අල්ලගන්න හදන ලොකුම ලොකු ගිනි ගොඩක්. ඇත්තටම උන් හිටි තැනත් අමතක වුනා කියල කිව්වොත් වැරදි නෑ. මුලින්ම අපිට අමතක වුනා අපි දැන් මොකද කරන්නෙ කියලා. ඉතින් හැමෝම තමන්ට හිතුනු හිතුනු  දිහාවකට දුවන්න පටන් ගත්තා... ඒ අතරෙ එක එක්කෙනා ඇඟේ  හැප්පිලා වැටෙන්නත් ගත්තා. මිනිත්තු දෙක තුනකට පස්සෙ හැමෝටම මීටර් වෙන්න ගත්තා මේ ගින්න කෝම හරි නිවන්න ඕනෙ කියලා. ඉස්කෝලෙ පොදු දේපලනේ. පන්ති තහනමකට ලක් වෙන්නත් බැරි නෑ. 

ඉතින් හැමෝම වතුර ගන්න ටැප් එක ලගට දිව්වා. ඒත් ටැප් එකෙන් වතුර ආවට වතුර දාගෙන යන්න බාස්කට් එකක් වත් නෑ. හීනෙකින්වත් මෙහෙම දෙයක් හිතුවෙ නැති නිසා පෙර සූදානමක් තිබුනෙත් නෑ. එතකොට තමයි දෙවියො බලල වගේ මල් ගස් වලට වතුර දාන්න කියල පරිසර විද්යාගාරෙන් ඉල්ලගෙන ආපු මල් බාල්දි දෙක විරාජමානව වැඩහිදිනව දැක්කෙ. ඉතින් ලැවු ගින්නකට පොද වැස්සක් ඉහිනව වගේ අපි ගින්න නිවන්න ගත්තා... අපේ ගිනි නිවීම කෙසේවෙතත් ඔක්කොටම ගිනි ඇවිලුනාට පස්සෙ ගින්න ඉබේම නැවතුනා. සාරාර්තෙට තිබුනෙ සති 3කටත් අඩු කාලයක්. මොනවකරත් ඔසු උයන ආයෙ ගොඩ ගන්න බෑ කියල නම් අපි හැමෝටම ඒ වෙද්දි තේරිලා තිබුනේ.

ගෙදර යන්නවත් හිතක් නැතුව දවසම ඔසු උයනට වෙලා අපි කල්පනා කරේ මැඩම්ට මොනාද හෙට කියන්නෙ කියලා. අන්තිමට හිතල හිතලා මුල ඉදන් වුන හැමදෙයක්ම මැඩම්ටත් කියනව කියලා හිතාගෙන අපි සතුටින් විසිර ගියා. සතුටින් විසිර ගිය කිව්වට කාටවත් එදා රෑ නින්ද ගිහින් තිබුනෙ නම් නෑ.

ඔන්න ඉතින් පහුවදා උදේමත් අපි ගියෙ ඔසු උයනට.ඒක හරියට කලින්දා රෑ බෝම්බයක් ගහපු සොහොන් පිටියක් වගේ දැකුම් දසුනක්. හැමතැනම විසිරෙන අලු, කලු පාට වුන ගස් වල කදන්, සොහොන් කොතක් විතරයි අඩු වෙලා තිබුනේ. ඉතින් අපි හැමෝම බිම බලාගෙන ගියේ බයෝ ලැබ් එකට මැඩම්ව හම්බෙන්න. ගිනි තියන්න අදහස දුන්නෙ මම නිසා පෝලිමේ ඉස්සරහින්ම ඉන්න සිදු වුනෙත් මට. ඔසු උයන හදන්න පටන් ගත්තු දවසෙ ඉදලම කියන්න හිතාගෙන ගියත් මට කියවුනේ වෙනස්ම දෙයක්. ' මැඩම් අපි ඔසු උයන අත් ඇරලා අපිත් හදවත හදන්න එකතු වෙමුද' කියල. ඒක කිව්ව්ම මැඩම්ගෙ ඇස් දෙක නලලට යයි කියලා අපිට හිතුනත් මැඩම් කරේ හිනාවෙන එක. 

'අනේ පුතේ මාත් ඔයාලට ඕක කියන්නමයි හිටියෙ. ඒත් ඔයලා හරිම ආසවෙන් ඒකෙ වැඩ කරපු නිසා මටත් කියාගන්න බැරුව හිටියෙ' කියලා කියද්දි නම් අපිට හිතුනේ කෑ ගහල අඩන්න. මාසෙක විතර ඉදන් මැඩම්ගෙ  හිත රිදවන්න බැරි කමට අව්වෙ කර වෙවී, නොකා නොබී, ගෙවල් වලදිවත් නොකරන වැඩ කොච්චරක් ඔසු උයන වෙනුවෙන් අපි කරාද? මැඩම් පව් කියලා හිතලා අපි මැඩම්ට මුකුත් කියල නෑ. අපි පව් කියල හිතලා මැඩම් අපිට මුකුත් කියල නෑ.

මොනා වුනත් පෙර පිනකට හරි සාරාර්තෙට සති දෙකක් විතර තියලා අපි ඔසු උයනෙන් ගැලවුනා. ඊට පස්සෙ හදවතින්ම හදවතට වැඩ කරා. හැමෝම පුදුමකරවන විදිහෙ හදවතක් හදලා මැඩම්වත් සතුටු කරා. ප්‍රදර්ශනේ අතරතුරදි මම මගේ විස්තර කුටිය ලග තිබුනු කවුලුවෙන් එලිය බැලුවා. වෙනදා වගේම ආදරෙන් ඔසු උයන අපි දිහා බලන් හිටියා......

Monday, March 28, 2016

සාරාර්ථ 2013



පායල පායල අන්තිමට අහසටම එපා වෙලා වගේ ඊයෙ හවස හිටපු ගමන් වැස්සක් ඇදහැලුනා. ඉතින්  ඇදට වෙලා කියවන්න හිතාගෙන පොතක් තෝරද්දියි A/L කරන කාලෙ ලියපු සමරු පොත හම්බුනේ. ඉතින් පොත් තෝරන එක පැත්තකට දාල මම  ඒක කියවන්න ගත්තා. හදිස්සියෙම මගෙ නෙත ගැටුනෙ රෝස පාට පිටුවක යාලුවෙක් ලියල තිබුන සටහනක්. ඒකෙ යටින් සුන්දර පදපෙලකුත් සටහන් වෙලා තිබුනා.

                 සිනා මල් මුව දරා කෙලි කවට බස් කියා
                 නෙතින් නෙත හමුවෙලා සොඳුරු මිතුරන් වෙලා
                 විටෙක අපි වෙන්වෙලා නැවත මිතුරන් වුනා
                 හැදූ හදවත දිහා බලා අපි සැනසුනා

මේ කවිය මගෙ හිත අවුරුදු තුනක් තරම් ආපස්සට රැගෙන ගියා. ඒ තමා 2013 අවුරුද්ද... 2012 ඉවර වෙන්නත් කලින් ඉදලා අපි 2013ට ලෑස්ති වුනා. මොකද 2013දි සාරාර්තයක් පැවැත්වෙන නිසා. සාරාර්ත කියන්නෙ අවුරුදු 4කට වතාවක් අපේ ඉස්කෝලෙන් සන්විධානය කරන ප්‍රදර්ශනයක්. ඒ කාලෙ ඉස්කෝලෙ හිටපු ලොකුම ළමයි විදිහට හොදම ප්‍රදර්ශන කුටිය තමන්ගෙ පන්තියෙන් හදන්නයි උසස් පෙළ පන්ති හැම එකකටම ඕනෙ වෙලා තිබුනේ. ඉතින් අපිත් ඉගෙන ගන්න එක අමතක කරලා සාරාර්ත ගැන හිතන්න පටන් ගත්තා.

මුලින්ම අපිට අදහසක් ඉදිරිපත් කරේ අපිට physics උගන්නපු සර්. සර් කිව්වෙ ඇපලෝ 11 යානය හදමු කියලා. ඒ අදහසට මුලින් හැමෝම කැමති වුනත් සැලසුම හදද්දි කාට කාටත් තේරුනා ඒක හිතන තරම් ලේසි වෙන්නෙ නෑ කියලා. ඉතින් ආයෙත් අපි තැන තැන සාකච්චා වට තියන තැනටම පත් වුනා. ඒ වෙලාවෙ තමයි අපිට බයෝ උගන්නපු  මැඩම්ට අදහසක් ආවෙ අපේ ඔසු උයන ගැන. ඔසු උයන කියන්නෙ ඇත්තටම කිව්වොත් තැනින් තැන ඔසු පැළ ටිකක් හිටවල තියන ලොකුම ලොකු කැලයක්. ඒ කැලේ ලස්සන කරල ලස්සනම ලස්සන උද්යානයක් කිරීමේ හීනයක් මැඩම්ට කාලෙක ඉදලම තිබුනා. ඉතින් අපිට ලැබෙන හැම off period එකකදිම ඔසු උයනට ගිහින් ගන වනාන්තරයක් උද්යානයක් කිරිමේ මූලික අඩිතාලම සකස් කරන්න කියල අපිට නියෝග ලැබුනා.... 

පන්ති කාමර ඇතුලෙ හිර වෙලා ඉදලා එපා වෙන නිසා මුලින් මුලින් නම් හැමෝම මැඩම් කිව්වත් නැතත් ඔසු උයනට යන්න පුරුදු වුනා. හැබැයි ඒ වැඩ කරන්න නම් නෙමෙයි. දිවුල් ගස් වලින් දිවුල් කඩන්න, අඹ ගස් වලින් අඹ කඩන්න වගේ වැඩ වලට. ඒ වගේම එතනින්ම ඇලකුත් ගලාගෙන යන නිසා අපිට ඇති තරම් විනෝද වෙන්න හැකියාවකුත් තිබුනා. ඒත් උදලු ගාන්න, ඔසු උයනෙ පාරවල් හදන්න, පොකුණු හදන්න වගේ බර වැඩ කරලියට ආවට පස්සෙ හැමෝම ඔසු උයන මඟ ඇරලා යන්න පටන් ගත්තා. ඒත් පන්තියෙ අනිත් ළමයින්ට වඩා මැඩම් අපිට සමීප නිසාත්, අපේ ගෙදරට අල්ලපු ගෙදර මැඩම් පදින්චි වෙලා හිටිය නිසාත්, මටයි තව යාලුවො 9දෙනෙක්ටයි ඔසු උයන අත් අරින්න බැරි උනා. ඉතින් ගෑනු ළමයි දහ දෙනෙක් තනියම අර කැලේ සුද්ද කරන්න පටන් ගත්ත.

ඔසු උයනෙන් කැඩිල ගිය යාලුවො සාරාර්තෙට හදවතක් හදන්න තීරනය කරල තිබුනා. අකමැත්තෙන් වුනත් ඒකෙන් අයින් වෙලා මැඩම්ට උදවු කරනව කියල අපි හිතාගත්තා.. එත් ටික දවසක් යද්දි අපිට ඔසු උයන ගැන ඇත්තටම ආදරේ හිතුනා. ඒ කොච්චරද කියනව නම් විවේක වෙලාවෙදි කෑම කන්නත් ඔසු උයනට ගියා, පුලුවන් හැම වෙලාවෙම ඒකට ගිහින් වැඩ කරා, class යන්නෙ නැතුව ඔසු උයනෙම හිටිය,  උදලු ගෑවා, රේක්ක වලින් කොල ඇද්දා, ඈතක ඉදන් ගඩොල් අරන් ඇවිත් පාරවල් හැදුවා, පොකුණක් හදල ඒකට මාලුත් දැම්මා... අන්තිමට අදුරගන්නත් බැරි තරම් හැමෝම කලු වෙලා. අත් වල කර ගැට දාලා. ගෙදර ගියාට කෙලින් ඉන්නවත් පණ නෑ. ඇදට වැටුන ගමන් නින්ද යනවා. ඒ කාලෙ ත්මයි අපිට තේරුණේ අමාරුම දේ මහපොලොවත් එක්ක හැප්පෙන එක කියලා. ඒ කොච්චර  මහන්සි වුනත් තාමත් ඔසු උයනෙ පේන්න තරම් වෙනසක් වෙලා තිබුනෙ නෑ. 

සාරාර්තෙට තිබුනෙ සති 3ක් වගේ කාලයක්. ඉස්කොලෙන් අපිව වැඩ කරන්න නිදහස් කරන්නෙ අන්තිම සති දෙක. ඉතින් පන්තියෙ අනිත් ලමයි ඇතුලට වෙලා හදවත ගැන කතා කරද්දි අපි ගිනි අව්වෙ ඔසු උයන ලස්සන කරන විදිහ ගැන කතා වුනා. මල් පැල හිටෙව්වට මල් පිපෙන්න කාලයක් නැති නිසා මල් ගස් පිටින් ගලවගෙන ඇවිත් හිටවන්න අපි තීරනේ කරා. එකට ගැලපෙනම කෙනෙක් අපි දහ දෙනා අතර හිටියා. ඒ තමයි ඉශාරා. එයා බර ඉසිලීමෙන් ගොල්ඩ් මෙඩල් ගත්තු කෙනෙක්. සාමාන්ය ලමයි හතරදෙනෙක් විතර එයා ලොකුයි. ඉතින් අපි ඉශාරවත් පෙරටු කරගෙන මල් පිපිල තියෙන ගස් හොයාගෙන ඉස්කෝලෙ පුරා සැරි සැරුවා. එතකොට තමයි දැක්කෙ රතු පාට මල්  පිපිලා තිබුන ලස්සන ගහක්. එත් ඒක තිබුනේ ඉස්කෝල අපිට තහන්ම් කලාපෙක. එ කියන්නෙ බලාන්ශ පන්ති පැත්තෙ. ඉතින් ඉස්කෝල ඉවර එනකම් ඉදලා හැමෝම ගියාද කියලා සැකහැර දැනගෙන අපි ගිය ගහ ගලවගෙන එන්න. 

ඒක අපිටත් වඩා උස වුනත් ඒ ගැන වැඩිය හිතන්නෙ නැතුව අපි ගහ අදින්න ගත්තා. ඉශාර ගහ අදිනවා, අපි ඉශාරව අදිනවා. එක සැරෙටම ගහත් එක්කම ඉශාරා පිටිපස්සට වැටුනා. සූදානම් ශරීරෙන් හිටපු නිසා ඊට කලින් කොහෙට කොහෙට හරි පැන ගන්න අපිට පුලුවන් උනා.  ඒ මොනා වුනත් මුදුන් මුලත් එක්කම ලස්සනට ගහත් ගැලවිලා ඇවිත් තිබුනා. ඊට පස්සෙ ප්‍රශ්නෙ ආවෙ ගහ හිටවන එක ගැන. කොච්චර ලොකු වලත් කැපුවතේ ගහට ඒක මදි. අන්තිමට පිරිමි ලමයෙක් කතා කරගෙන ගහත් කොහොම හරි හිටවල දැම්මා.

මේ වෙද්දි අපි කොච්චර මහන්සි වෙලා තිබුනද කිව්වොත් අපිට ඔසු උයනත් එපා වෙලා තිබුනේ. ඉවසන්නම බැරි වුනේ දවස ගානෙ අක්කරයක් විතර වැටෙන තේක්ක කොල අතුගාන්න වෙන එක. ඒක අතුගාල ඉවර වෙද්දි දවසෙන් බාගයක්ම ගිහින් ඉවරයි. ඒක ගැන හිත හිත ඉද්දි තමයි මට මසුරන් වටින අදසක් ආවෙ, ඒ තමයි ඔසු උයන ගිනි තැබීම. එතකොට අතු ගාන්න ඕන නෑනෙ. කොල ටික පිච්චුනාම ගානට හදල ගන්න පුලුවන් වෙයි කියල මට හිතුනා. ඉතින් මම වගේම මෝඩ යාලුවො 9ත් ඒකට එක පයින් කැමති වුනා. පන්තියෙ පහන පත්තු කරන ගොනි පෙට්ටිය ගෙනැල්ලා වේලිල කුරුස් ගාලා පොඩි වෙන තේක්ක කැලේට ගිනි තියලා අපි පුන්චි කතාවක් පටන් ගත්තා. ඒ කතාව කොච්චර පුන්චිද කියටනවනම් අපි පියවි සිහියට ආවෙ මෙන්න ගිනි ගන්නවෝ කියලා අපේම යාලුවෙක් කෑගහන සද්දෙට...........

(ලියාගෙන යද්දි හිතුනා නීරසද කියලත්. ඒ නිසා ඉතුරු කොටස වෙන දවසක )

Friday, March 25, 2016

මට ඕන මේ වගේ ප්‍රේමයක් ....


සීතලෙන් සීත වුන දවසක
උණුහුමට හාදුවක් පුදදෙන
කලුවරින් වැසී ගත අදුරක
තරුවක්ව ඈත සිට දිදුලන
මයි මලින් පිරී ගිය උයනක
මා ලමැද හිස තියා සැතපෙන
මට ඕන ප්රෙමයක් කිසිදින
මුලාකර මාව අත් නොහරින ...

මලක මල් පෙති සිබින දෙතොලග
උමතුවෙන් පිනි හාදු තවරන
ගෙවෙන හැම මොහොතකම නෙත්අග 
මගේ රුව විතරක්ම මතුවෙන
නාදුනන නගරයක මා ලග
කටහඩක් වී නිබද රැව්දෙන 
මට ඕන ප්‍රේමයක් සැමදින
ආදරෙන් හදවතම නහවන....

ගිලිහෙනා කදුලකට ඉඩහැර
හඩන මා නවතන්න නොසිතන
හදවිලේ සියපතක පත් හැර
සුන්දරම කවි හැගුම් ගෙන එන
දිව්‍යමය සිහිනයක නෙත් හැර
ආකහේ මං එක්ක ඉගිලෙන
මට ඕන ප්‍රේමයක් සැමදින
ජීවිතේ මගේ නමට පුදදෙන .....

Monday, March 21, 2016

තාමත් තරහද....?

ඔයා තාමත් තරහද
මම එදා යන්න නාවට?

මොනතරම් ලස්සනද මේ උයන
වඩා සිනමා හලකට
නොපෙනේවි ඒ කෘතීම අදුර මැද
ඔයාගේ මූනවත් මට හරියට....
විදුලි පංකාවකින්
මතුවෙන වියලි රස්නෙට
වඩා මම ආදරෙයි
මේ හමා යන සුළගට
ඒ සමග එතී එන
නුබේ දාඩිය සුවදට
ඉතින් තාමත් තරහද
මම එදා යන්න නාවට
අර බලන් අර අහසට
වලාකුළු හැඩ දමා ඇති ලස්සන
වියනක් හදල වාගෙයි අහසම
එකතු වී අපි දෙන්නට
මේ හැලෙන ඇහැල මල් ගානෙම
ආදරෙයි මම නුබට සදහට
දෙනවද ඔය උරහිස
නෙත් පියා ගන්න මට මදකට
මොන තරම් සොදුරුද
අපි දෙන්න එක ලගින් හිටියම
මේ දැනෙන සැනසීම කිසිවිට
ගන්න හැකිවේද පෙම්වත
වෙලා සිනමා හලකට
කෝ දෙන්න ඔය සුරත දැන් මට
කවියක් ලියන්නට නුබ ගැන
වචන කියන්නේ නැ මම
ලියනවා විතරයි හෙමිහිට
තෙරුනොතින් නුබ හට
ආයෙත් යාලු වෙනවද
කියන කිසි දෙකට
හූමිටියවත් නැටතුවට
තරහක් හිතෙන නෑ මට
දන්නවනේ මම හොදටම
මොහොතකින් යලි සැනසෙන
ඔය අකීකරු හිත ගැන
ඉතින් තාමත් තරහද
එදා මම යන්න නාවට?...

Wednesday, March 16, 2016

පුර පෝය හඳක් ලඟ තරුවකට ඉඩක් නෑ


ගුරු පාරෙ මග දිගට රොබරෝසි වැටෙන්නෑ
කේතකී පඳුරු පෙර මුණු මුණුව නගන්නෑ
සුසුම්ලන හිත ගාව සිනා මල් පිපෙන්නෑ
නුඹ නැතුව ජීවිතේ විදින්නට හිතෙන්නෑ

ඉකිබිදින හිත ගාව හිනැහෙන්න ඉඩක් නෑ
සුදු අම්මි මගෙ මැණික අමතන්න කෙනෙක් නෑ
හීන පොදි තිබුණාට මගෙ ලෝකෙ රජෙක් නෑ
පෙර මෙන්ම ආදරේ පුදන්නට කෙනෙක් නෑ

දෙනයනින් ගිලිහෙනා කදුළු වල නිමක් නෑ
හදවතට ලං වෙලා දුක අහන කෙනෙක් නෑ
නෙත් පුරා මග බලන මුත් තවත් වැඩක් නෑ
පුර පෝය හඳක් ලඟ තරුවකට ඉඩක් නෑ

Monday, March 7, 2016

උඩුකය චිත්‍ර (portrait)

උඩු කය චිත්‍ර කලාව මම පටන් ගත්තා විතරයි. ඒ නිසා ගොඩක් අඩු පාඩු නම් ඇති.මුහුණු පොතේ ඉල්ලීම වලට අමතරව ජනප්‍රිය චරිතත් ඇදල ඇති.......... බලන්න අදුරගන්න පුලුවන්ද කියලා............



harry potter

mahinda rajapakse

emma watson

ruwinda dilip


chamara perera
kasun deeptha

Thursday, March 3, 2016

ගංඟාව ගලායයි අදත් පෙර වාගේම....


ගං ඉවුර ලඟ පිපුණ සුදු පාට පුන්චි මල
පෙති එකින් එක පුදති ගලා යන ගං දියට
ඒත් ඒ ගැන කිසිඳු නිනව්වක් නැති ලෙසට
ගංඟාව ගලායයි අදත් පෙර වාගේම

කේතකී පඳුරු දෙන ඉඟි රහස් නොතකාම
පුංචි මල සොයන්නේ ගං දියේ මදහාස
මල් නෙතේ රැදි කැල්ම නොම දුටුව විලසින්ම
ගංඟාව ගලා යයි අදත් පෙර වාගේම

ඒත් ගං දිය සුළිය රිදුරු වූ ඇසිල්ලක
මලක මළඟම නිමව අනෙක් මල් දරදඬුව
ආයෙමත් උදෑසන කිසිත් නොවුනා විලස
ගලනු ඇත ගංඟාව හෙටත් මේ වාගේම.....

Tuesday, March 1, 2016

මගේ සිතුවම්... (lines)

හැමදාම ලියන නිසා අද අදින්න හිතුනා. මේ තියෙන්නෙ මීට අවුරුදු දෙක තුනකට කලින් මම ඇදපු චිත්‍ර වගයක්.. ප්ලැටිග්නම් වලින් ඇන්දෙ... පැයක් එක හමාරකින් වගේ ඇදල ඉවර කරන්න පුලුවන් නිසා මේ මාධ්‍ය කාලෙ ඉතුරු කරනවා... පන්ති වලදි හම්බෙන ඉන්ටවල් වලදි තමා ගොඩක් චිත්‍ර නිම වුණේ. තවත් චිත්‍ර තියනවා..... ඒව වෙන දවසක පෝස්ට් කරන්නම්. බලන්න හොදද කියලා............. :)






Monday, February 29, 2016

ඒක තරු පිරුණ අහසක්............


ඒ ජනවාරි මාසෙ 24 වෙනිද.මම හිටියෙ යාපනේ.මට ඉහළින් තිබුණෙ තරු පිරුණු අහසක්.... පේන තෙක් මානයේම දකින්නට ලැබුනෙ ඈතින් ඈතට විහිදෙන තල් ගස් යායක සෙවණැළි . මීට වසර දහස් ගණනාවකට පෙරත් මේ සුන්දරත්වය මෙලෙසම දිස්වෙන්නැති. මේ අහස මේ විදිහටම තරු පිරිවරාගෙන ඉන්නැති.ඒත් ඊට යටින් තිබුණ මේ බිම් කඩ කොච්චර නම් වෙනස්වීම් වලට ලක් වුනාද? යුගයක් තිබුන හිත් වල ඇවිලුනු ගින්දරින් මේ තල් අරඹ ගිනි ගත්ත සහ කටු කම්ඹි, පවුරු ප්‍රාකාර වලින් ආදරය, සෙනෙහස,මනුෂ්‍යතයව සීමා කරපු.

මට නිතැනින්ම මතක් වුනේ රත්නශ්‍රී විජේසින්හයන්  විසින් රචිත ගුණදාස කපුගේ  විසින් ගායනා කළ ගීතයක් ඒ තමයි 'සින්හල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලී'. ඒ ගීතය ලියවිලා තිබුණෙ LTTE  සන්විධානයේ හිටිය පොලිස්පතිවරයා සහ ඔහුගෙ සින්හල ජාතික පෙම්වතිය වෙනුවෙන්.දෙපාර්ශවයේම දෙමාපියන්ගෙ දැඩි අකමැත්ත මත විවාහ වෙන ඔවුන් යාපනේට පලා ඇවිත් LTTE  සන්විධානයට බැදිල ජීවත් වෙනව. උතුරු නැගෙනහිර තිබුණ යුද්දයෙන් මේ වන විට ඔවුන් දෙදෙනාම මියගොස් අවසන්. ඒත් රත්නශ්‍රී විජේසින්හයන්ගෙ පද පෙළ නිසා තවමත් වසර ගණනකට පසුත් ඔවුන් ජීවමානයි.

ඒ එක සිදුවීමක් විතරයි. මේ සුන්දර තල් අරඹ යට තවත් එවැනි කතා කොච්චරක් ඇතිද? ආදරය නිසා ඉපදුනු, ආදරයෙන් ජීවත් වුනු සහ ආදරයෙන්ම මියැදුනු කීදෙනෙක්ගෙ අවසන් සුසුම් පොද මේ වාතලයට මුසුවෙලා ඇත්ද..... ආදරෙත් හරිම පුදුමාකරයි. ජීවිතේ ජීවත් කරවනව වගේම ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තු ලබල දෙන්නෙත් ආදරේ විසින්. ආදරේ පිරුණු හැම හදවතක්ම මේ තරු පිරුණ අහස වගේම පිවිතුරු ඇති කියල මට හිතුන.

Sunday, February 21, 2016

දරා ඉකිලමි දැවී මියැදෙමි දිවි තුරා එය සුරකිමි...


හදේ ඉපදුන ප්‍රථම ප්‍රේමය
නුඹේ නමටම පුදදෙමි
නෙතින් දැකගමි සිතින් විදගමි
මුවින් කිසිවක් නොකියමි....

යනෙන මගතොට බලා ලතවෙමි
නෙතින් කදුළැල් නොහෙලමි
හිතින් ලග ඉමි අතේ පැටලෙමි
දුරින් රුව දැක සැනසෙමි...

සිහින නොනිදන රැයට ඉඩ දී
ලයට තුරුලුව සැතපෙමි
තුටින් හිනැහෙමි හොරෙන් මුමුණමි
අවදිවන්නට නොසිතමි....

දැනෙන තනිකම ඉතින් විදගමි
කිසිවෙකුත් යළි නොපතමි
දරා ඉකිලමි දැවී මියැදෙමි
දිවි තුරා එය සුරකිමි...

Saturday, February 13, 2016

ප්‍රේමයක් මියැදෙමින් තිබුනා

හිරුත් ඇහැරුන දවල් දවසක
රේල් පාරක පීලි අතරක
කඳුලු පමණක් ඉතිරිකර දී
ප්‍රේමයක් මියැදෙමින් තිබුනා

දොසක් නොතියා නිහඬ අහසට
රුධිරයෙන් මහපොළොව තෙත් කර
රලු යකඩ රෝදයක සිරවී
හදවතක් ගැහි ගැහී තිබුනා

ජීවිතෙන් හරි අඩක් කැප කල
ප්‍රේමයක පසුවදන පිළිබද
ලියූ කවියක් අතින් ගිලිහී
තැනින් තැන විසිරිලා තිබුනා

දුරස් නොවුනත් එකතු වන්ට
නොහැකි දුම් රිය මාවතක් ලෙස
හිදින්නට ගිවිසූ මුවින් උණු
සුසුම් රැලි සැඟවෙමින්තිබුනා...

හිරුත් ඇහැරුන දවල් දවසක
රේල් පාරක පීලි අතරක
කඳුලු පමණක් ඉතිරි කර දී
ප්‍රේමයක් මියැදෙමින් තිබුනා

Monday, February 1, 2016

පොත් තබා මොහොතකට

පොත් තබා මොහොතකට
යමුද අපි ඇවිදින්න
පොතක නොවු බොහෝ දේ
හැකිවේවි කියවන්න

සීතලට එතීගෙන
යන සුළඟ විදගන්න
දිය පාර කපාගෙන
ඉරක් සේ පීනන්න
.
පිපී හිනැහී දිලෙන
මලක පෙති සිපගන්න
ඉපල් වූ තුරු පතක
සර සරය අහගන්න

මිමෝසා පත්‍රයක
රැදුනු පිනි දැකගන්න
වැලි පොළොව මත දැනෙන
මුදු සුවය විදගන්න

ලහිරු රැස් මැද එබෙන
දේදුන්න දැකගන්න
කුහුඹුවෙකු තණ පතක
ලියන කවි කියවන්න

පොත් තබා මොහොතකට
යමුද අපි ඇවිදින්න
පොතක නොවු බොහෝ දේ
හැකිවේවි කියවන්න.............




Monday, January 25, 2016

දැන් ඉතින් සමුදෙන්න


හුදෙකලා විරාමෙක
හදවතේ ඉපදිච්ච
සොඳුරු මුතු මාලයක
මුතු වගේ ඈදිච්ච

රැය පුරා නිදි නැතුව
පන්හිඳක කැටි වෙච්ච
සුසුදු පත් ඉරු පුරා
නිබඳවම දැවටිච්ච

කොපුල් තල මත ඇදෙන
සිනාවක පැටලිච්ච
සොඳුරු යට ගියාවක
මතකයන් මුහුවෙච්ච

මූණු පොත් පිටු පුරා
අකුරු වී ඉහිරෙච්ච
මගේ ඒ කවිකමට
හදවතින් ලියවෙච්ච

දයාබර පන්හිදේ
දැන් ඉතින් සමුදෙන්න..!

Monday, January 18, 2016

දිනපොතක පිටුවක්...!!!


සඳුදා
උදෙන්ම බස්ටෑන්ඩ් එකට ගියෙ ඉක්මන්ට ක්ලාස් එකට යන්න හිතාගෙන.
එතකොටයි ඇහුණෙ මල්ලිලා තුන්දෙනෙක් අහිමිවුණ ලෝක කුසලානෙ ගැන සමාලෝචනයක් කරනව. මැච් එක පරාද වෙලා ගොඩක් දවස් වුණාට තාම හිතේ දුක අඩුවෙලා නෑ වගේ.ඈතින් ගාට ගාට සෙනඟ පුරෝගෙන රතු පාට CTB බස් එක එනව පෙනුනා. සෙනඟ අතරින් බස් එකට රින්ගන්න හදද්දි මට හිතුණෙ දැන් අවුරුදු ගානක ඉදන් අපිට අපේ නොවන අපේම ලෝක කුසලානයක් තිබුණ නේද කියලා.
බදාදා
පමෝද්යා අලුත් කියුටෙක්ස් එකක් අරගෙන. ලාවට දිස්නයක් තියෙන ලා දම් පාට එයාගෙ හීනි ඇගිලි වලට ලස්සන්ට මැච් වෙලා තිබුණා. නියපොතු හපන පුරුද්ද අද ඉදලවත් නතර කරන්න ඕන කියල හැමදාම වගේ හිතුවත් තාපය ගණන් ටික හදල ඉවර වෙද්දි පුරුදු විදිහටම ලාවට මතුවෙලා තිබුණු සුදු පාට නියපොතු අගිසි අතුරුදහන් වෙලා තිබුණ.
බ්‍රහස්පතින්දා
දිනපොත අරන් ඇදට ආවෙ දවස් ගාණක ඉදල හිතට ඇවිත් තිබුණු කවියක් ලියන්න කියලා හිතාගෙන. ඒත් සුදු පාට කඩදාසියක් වගේ හදවතම හිස් වෙලා. කොච්චර උත්සහ කරත් හිත ඇතුළෙ හිරවෙලා වගෙ තියෙන අදහස් එළියට ආවෙ නෑ. ඇත්තටම කවි සිත පවක්ද?
සෙනසුරාදා
අද නිවාඩු දවසක් වුණත් උදෙන්ම නැගිටින්න වුණේ සමාලිත් එක්ක පාඩම් කරන්න ලයිබ්‍රි එකට යන්න පොරොන්දු වෙලා හිටිය නිසා. පොත් කඳු වලින් වටවෙච්ච හෝල් එකට වෙලා හැමෝම තම තමන්ගෙ ඉස්සරහ තියෙන පොත් දිහා ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතුව බලාගෙන ඉන්නව. මන් සමාලි දිහා බැලුවා. එයත් දැහැනට සමවැදිල වගේ පොත දිහා බලන් ඉන්නව. පැයක් විතර අමාරුවෙන් ඉදගෙන ඉදලා සමාලිට බොරුවක් කියලා මන් එලියට ආවෙ එහෙම හිතේ නිදහසක් නැතුව පාඩම් කරන කිසි දෙයක් ඔලුවට යනවද කියල හිත හිතා.
ඉරිදා
cv එකක් ඊමේල් කරන්න සිග්නල් නෑ කිය කියා අයියා ලැප් එක අරන් ගේ වටේ ඇවිදිනවා. ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා එයාට කිව්වට මොකද වෙනදට fb ලොග් වෙන්න සිග්නල් නැතුව මන් විදින දුක මට මතක් වුණා.

Monday, January 11, 2016

අද අළු පාට දවසක්...


අද අළු පාට දවසක්... මටම කොනිත්ත ගත්තෙ මේ හීනයක්ද, නැත්තම් ඇත්තටම සිද්දවෙන දෙයක්ද කියල හරියට හිතාගන්ඩ බැරිවුන නිසා.අහස පුරාම කළුම කළු පාට වැහි වලාකුළු පිරිලා. නිල් පාටක් හොයාගන්ඩවත් බෑ. වැහි බින්දු අස්සෙ හැන්ගිලා ඒ අදුරු අළු පාට පොළවටත් ඇවිත් වගේ. තණකොළ උඩ වැටිල තියෙන පිණි බින්දුත් අළු පාටයි, කඳු යාය වසාගෙන ඉන්න මීදුමත් අළු පාටයි. කහ පාට තිත්ත මලුත් මැලවිලා ගිහින්.... පෙති දිගේ සීරුවට අළු පාට කඳුළු බින්දු බේරිලා. ඒ කඳුළු බින්දුවකට යට වුණ කූඹියෙක් පණ අදිනවා. ඌත් අළු පාටයි. මම බැලුවෙ ඔයා දුන්න රෝස ගහ දිහා.  අනේ ඒකත් අළු පාට වෙලා. මිදුල පුරාම විලෝ පත් හැලිලා...  ඒවත් අළු පාටයි.. මම ඇස් ඇරල තිබුන නිදිකුම්බා කොළයක් කඩල ගත්ත. මට බයෙන් වගේ එයා කොළ අතරෙ මූණ හන්ගගෙන හැකිලුනා. ඒත් ඒ අළු පාට මගෙ ඇඟිලි වල ගෑවුණා. ඒ කියන්නෙ මේක හීනයක් නෙමෙයි..!
අළුම අළු පාට සමනළයෙක් මන් දිහා බලලා බුම්මගෙන වගේ ඈතට ඉගිල්ලිලා ගියා. ගස් කොලනුත් මාත් එක්ක තරහින් වගේ.ඒ හැමෝම මන් දිහා බලන්නෙ හරියට මේ හැමදේම මගෙ වැරෙද්දෙන් වුණ දෙයක් වගේ. සමරවිට ඊයෙ රෑ තෙමිතෙමී මහ වැස්සෙ ඔයාව මතක් වෙලා මම අඩපු කඳුළුද දන්නෙ නෑ පාන්දර  අළු පාටවැස්සක් වගේ කඩන් වැටුණෙ. ඉතින් ඒකට මම මොනව කරන්ඩද? කඳුළු බින්දු එකින් එක එකතුවෙලා හදවතම හිරවෙයි කියන බයටයි මම හිත නිදහස් වෙනකල් ඇඩුවෙ. ඒකට මට සාධාරණ හේතුවක් තියෙනව. එහෙම තියෙද්දිත් මේ වගෙ ලොකු දඩුවමක් දෙන එක හරිම අසාධාරණයි.
ඒත් කමක් නෑ... හැමදේම අළු පාට වෙච්චාවෙ. තිත්ත මල් විතරක් නෙමෙයි මම ආසම රෙබරෝසි මල්, දවල් කුමාරි මල්, තණකොල මල් අස්සෙ පිපෙන ට්‍රයිඩැක්ස් මලුත් අළු පාට වෙච්චාවෙ. විලෝ පතුත් කවදාවත් දලුලන්නෙ නැතුව මේ බිම වැටිලා තියෙන විදිහටම තිබුණාවෙ. එතකොට කවදාවත් ඒවට වහින වෙලාවට වැළපෙන්ඩ බෑ.. ඒ කියන්නෙ මට ඔයාව මතක් කරල දෙන්ඩත් එයාලට බෑ කියන එකනෙ.. අනික එතකොට මට රතු පාට හැන්දෑවල් වල ඔයාව හිතින් මවාගෙන තනියම ගුරු පාරෙ ඇවිදින්ඩ යන්ඩ ඕනෙ නෑ, රෝස පාට පෙම්වතුන් දකිද්දි ඇස් වල කදුළු පුරවන් හූල්ලන්ඩ ඕනෙ නෑ. කහ පාට ඇහැළ මල් දෙවැට ලඟ ඔයා එනකල් කල්මරන්ඩ ඕනෙ නෑ. ඔයා ගැන හිත හිතා වරු ගනන් කොල පාට තණ කොල ගස් ගණන් කරන්ඩ ඕනෙ නෑ. නිල් පාට අහසෙ සුදු වළාකුළු එහා මෙහා කරල ඔයාගෙ රූපෙ මවාගන්ඩ ඕනෙ නෑ.ඉතින් මුලු ලෝකෙම අළු පාට විතරක් උනොත් කොච්චර හොඳද?
 මම අහස දිහා බැලුවා. අඳුර ගන්ඩ බැරි තරමට අහසට පොළව සමපාත වෙලා... හරියට සිහිනයකින් සිහිනයක් වසාගෙන වගේ. වලාකුළු, කඳු, මීදුම කිසි දෙයක් වෙන්කරලා අදුරගන්ඩ බැහැ. සමහරවිට සේකර 'ලෝකය තනි යායක්' කියල කියන්ඩ ඇත්තෙ මේ වගේ දවස් වලට. අදින් පස්සෙ මගේ ජීවිතේට කඳුළු වලට එබිකම් කරන්ඩ බැරිවෙයි. ඒ වගේම හසරැළි වලටත්.මොකද මේ අළුම අළු පාට හිස් අහස වගේම මගේ හදවතත් මියැදිලා.කොයිවෙලේ වැස්සක් වෙලා කඩන් වැටෙයිද කියන්ඩ බැරි සිතුවිලි වැහි වලාකුළු වගේ ඒ හදවතේ පිරිලා.
ඒත් සායම් ගාපු හිනාවක් මවාගෙන ඇවිදින දවස් තුන්සිය හැට පහකට වඩා මේ අළු පාට දවස මට වටිනව.අද දවසම මේ අළු පාට මේ විදිහටම තියෙයි.ඒ වගේම හෙටත්. හෙටින් පස්සෙ එලඹෙන හැම දවසකමත් මේ අළු පාට මෙහෙමම තියෙයි. මගේ හදවතේ ඔයා වෙනුවෙන් වෙන්වෙලා තියෙන අන්තිම සෙනේ බිදුවත් සිදිල යනකම් මේ අළුපාට තියෙයි... ඉතින් මම දන්නව මේ අළු පාට ලෝකයෙන් කවදාවත් මට මිදෙන්ඩ බැරි විත්තිය. මොකද නොනිවෙන හඳුන් කූරක් වගේ දැල්විලා හැමදාමත් මගේ හදවත ඔබ දවන බව මම දන්න නිසා.

Thursday, January 7, 2016

ඒ තමා ආදරේ හරි පාට...

උදෑසන අහස් කුස නිල් පාට
පාවෙනා මේකුලක සුදු පාට
අදුරු වැහි වළාවක අලු පාට
රාත්‍රිය නිදි වරණ කලු පාට


වසත් මේපල් පතක කොල පාට
සරත් සමයේ දිලෙන රතු පාට
සිසිර සමයේ වැසෙන සුදු පාට
නපුරු හේමන්තයේ බොර පාට


ඇහැළ කුසුමක පිපෙන කහ පාට
වැටෙන මල් රේණුවක තඹ පාට
නොපිපි මල් පියල්ලෙක ලා පාට
බිම වැටී මියැදෙනා පඬු පාට


ගලා යන දොළ දියක නිල් පාට
හිරු එළිය වැද දිලෙන රන් පාට
නැගෙන පෙණ පිඩු බිදෙන සුදු පාට
වැටෙන සෙවණැලි මවන දම් පාට


එකක් ලෙස එකතු වී මේ පාට
මවනු ඇත ලෝකයක් තනි පාට
සුපෙම්වත නේක නම් කීවාට
ඒ තමා ආදරේ හරි පාට...

Sunday, January 3, 2016

ලඟ රැදෙනු මැන හෙටත්


වළාකුලු අතර හිඳ දිනිදු රැස් මුදා හැර
සහසකර සිනාසෙයි සිසිරයම නිමාකර
සුපෙම්වත මගෙ ලොවට වසන්තය උදාකර
ලඟ රැදෙනු මැන හෙටත් කවියක්ව දයාබර