Thursday, December 31, 2015

2015 ට සමු දෙමු....


තත්පරෙන් තත්පරය, පැයෙන් පැය, දිනෙන් දින ගතවෙලා අලුත් වසරක් උදා වෙලා... ඒ වගේම  මේ වසර ගොඩනැගෙන්නෙ ගෙවී ගිය වසරෙ මතකයන් මතින් කියන එක අපිට අමතක කරන්න බැරි සත්‍යක්. ඒත් අපේ ජීවිතේම ගෙවී ගිය වසරට පවරලා මේ වසරට හිතුමතේට අපිව අරගෙන යන්න  ඉඩ දෙන්න අපිට බෑ.

මොකද අපේ ජීවිතේ ගත වෙන එකම එක තත්පරයක්වත් අපිට ආයෙත් ලබාගන්න බැරි නිසා. මේ මොහොත, අද දවස වර්තමානයක් කියල හිතන්න පුළුවන් වෙන්නෙ  බොහොම පුන්චි වෙලාවකට විතරයි. මොහොතින් මොහොත මේ හැමදේම ගෙවුනු අතීතයට එකතු වෙනවා. එයින් පස්සෙ ඉතුරු වෙන්නෙ සදාකාලික හෝ තාවකාලික මතකයක් විතරයි. මේ මොහොත වනතුරු අපේ නෙතින් ගිලිහුනු හැම කඳුළක්ම, මුවින් නික්මුනු හැම හසරැල්ලක්ම සහ ඉකිබිඳීමක්ම, ඉටු වුණ හෝ නොවුන හැම බලාපොරොත්තුවක්ම අපිටත් හොරෙන් බොඳවුණ ඡායාරූප වගේ අපේ හදවතේම කොහේ හෝ තැනක නිධන් ගත වෙලා තියනවා. අපේ අතීතය ගොඩනැගෙන්නෙ ඒ හැන්ගිලා තියන  මතකයන්ගෙන්....

ඒත් පාළුවෙන්, තනිකමෙන් හදවතම දැවීයන වෙලාවක, සුදුම සුදු පාට පොතක පිටුවක් වගේ හදවතම හිස්වෙලා තියන වෙලාවක,නුපුරුදු හසරැල්ලක් හදවතේ හුරුපුරුදු පියසටහන් තබා ගිය වෙලාවක,දුශ්කරයි කියල ජීවිතේ හැරයන්න හිතෙන වෙලාවක, ජීවිතේම කරගත්තු ආදරේ තවදුරටත් අහිමියි කියල දැනෙන වෙලාවක.... ඒ නිද්‍රාගත මතකයන් අවදි වෙනවා.දෙනෙතින් ගලාහැලෙන සීතල කඳුළු බිඳුවක් ලෙසින්, මුවඟින් නික්මෙන සියුම් ඉකිබිඳුමක් ලෙසින්, කොපුලත නැගෙන නුපුරුදු මන්දාස්මිතයක් ලෙසින් ඒ අතීත මතක සටහන් නැවතත් අපේ හදවතේ පෙරළි කරනව...  නින්දත් නොනින්දත් අතර ඇති හැඟීමක මුළු ආත්මයමය සන්තර්පණය කරනව. ගත වන වර්තමානයට හෝ එළඹෙන අනාගතයට වඩා ගෙවීගිය අතීතයට අපි ආදරේ කරන්නෙ ඒ නිසා......

 අතීතය ගොඩනැගෙන්නෙ වර්තමානයෙන් බව සත්‍යක්, වර්තමානය කියන්නෙ එළඹුණු අනාගතය බවත් සත්‍යක්... ඒත් ඒ සත්‍යතාවයන්ට මුහුණදෙනවට වඩා රිදුම් පිරිමදිමින්  අතීත මතක සටහන් අතර ජීවත් වීමට පමණක් නෙවෙයි මියෙන්නටත් බොහෝ හදවත් පෙරුම් පුරනවා. සරලවම කිව්වොත්,  ඒ තමා ජීවිතේ හැටි.. ඒත් මේ ධර්මතාවයට හැඩගැහෙන එක ලේසි පහසු දෙයක් නම් නෙමෙයි... අපේ අතීත ස්මරනයන් හදවතේ පතුළකම රැකගෙන විටින් විට එහි සුවඳ විදින්න අපි පෙළඹෙන්නෙ ඒ නිසා වෙන්න ඇති...

ඉතින් ගෙවී ගිය 2015 වසරෙහි නොනැවතී උදා වුනු 2016 වසර වර්තමානයේ හිද විදගන්නට මගේ සුබ පැතුම්.....
             
                සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!!

Monday, December 28, 2015

කෑම සූත්‍ර................ :)


හැමෝම කියන්නෙ මේ ඉගෙන ගන්න වයස කියල. ඒ හින්ද වැඩි attention එක දෙන්න ඕන ඉගෙන ගන්න දේවල් වලටලු. ඒත් මට නම් හිතෙන්නෙ  A/L කාලෙ අපි වැඩිපුරම attention එක දුන්නෙ කෑම වලට කියල. මොකද ජීවිතේ පරදුවට තියල ඉගෙන ගත්තෙ නැති වුනාට අපි ජීවිතේ පරදුවට තියල කෑම කාල තියනව.

උදේ ඉස්කෝලෙ ගිය ගමන් අපි කරන්නෙ කන එක. ටිකක් හරි මැඩම් class එකට එන්න පරක්කු වුනොත් ඒ වෙලාවත් නිකන් ගෙවිල යන්න ඉඩ දෙන්නෙ නෑ. අහම්බෙන් වගේ off period එකක් හම්බුනොත් ඒකෙදිත් කනව. ඊලඟට interval එක ඒකෙදි ඉතින් කොහොමත් කනවනේ. interval එක. ඉවර වෙද්දි ගෙනාව කෑමත් ඔක්කොම ඉවරයි. ඊළඟට යන්නෙ canteen එකට. ඒ කාලෙ කොල්ලො විහිලුවට කියන්නෙ කෙල්ලො ඉස්කෝලෙ එන්නෙ කන්න විතරයි කියල. ටිකක් හිතල බැලුවම ඒ කතාවෙ පොඩි ඇත්තකුත් තියනවා.

උදේ period එකේ කන්න ගත්තොත් ආයෙ ඉතින් උගන්නනව බොරු. අන්තිමට ඉස්කෝලෙන්  කෑම කන්න කියල උදේට වෙනම වෙලාවක් දුන්නා. අපිට ඉතින් ඒත් මදිනෙ. Bio n p6 වගේ නෙමෙයි chem මැඩම් clz එකට එන වෙලාවක කකා හිටියොත් නම් ඉවරෙටම ඉවරයි . ඒ හින්ද chem period එකට කලින් නම් අපි කන්නෙ බැරිම වෙලාවක විතරයි. දවසක් එහෙම වෙලාවක කෑම කාල පන්ති නායිකාව ගිහින් අඬල දොඩල තමයි මැඩම්ව ආයෙ class එකට එක්කන් ආවෙ.

class ගියත් මේකමයි වෙන්නෙ. class එකට වඩා අපි ඉන්නෙ view dreams එකේ. 11.30 interval එක දෙනකම් නම් අමාරුවෙන් හරි ඉන්නව. ඊට පස්සෙ ගෙනාව කෑමත් කාල කෙලින්ම යන්නෙ view එකට. 12.30 වෙනකම් කාල ආයෙත් class එකට යන්න නම් හිතන්නෙවත් නෑ. එක්කො ගෙදර, නැත්නම් ඉතින් යාලුවෙක්ගෙ ගෙදර.

හැමදාම ඉතින් වෙන්නෙ ඔය දේ. exam එකට කෑම ගැන ලියන්න ආවනම් ඔන්න අපිට ලියන්න තිබ්බ පරීක්ශකවරුන්ට තරු විසික්වෙන්න

Friday, December 25, 2015

ඇහැළ


කහ පාට ඇහැළ පෙති වස්සමින් මඟ දෙපස
වඩින මැයි මාසයක හැලෙන මල් නිම් නොමැත
මුදු රේණු අතුරමින් රටා මවනා අරුම
පියෙන් පිය තබා යමි නොපාගා මල් යහන

බිම වැටී මිලින වෙන හැම ඇහැළ මලකටම
කතාවක් ඇත් කිසිම දිනෙක අමතක නොවන
තුරු මුදුන මත රැදී හිරුට මදහස පෑව
වතාවක් ඇවිත් ගිය වසන්තේ දිනක් ගැන

හෙමි හෙමින් බිම වැටී අතීතය අවුලුවන
පිණි කඳුළු වැහි සලන මේ ඇහැළ මල් මිසක
අන් කිසිත් කියාවිද අතීතය සතු දිනක
වෙන්වෙලා දුරක ගිය සොඳුරු කවි සිතක් ගැන

හදවතේ මැද මිදුලෙ රිදුම් තැන් සඟවාන
ලොවම ලස්සන කරයි නොවෙද මේ මල් පැහැය
බිම වැටෙන හෙට පිපෙන සියලු මල් හා එක්ව
සිනාසෙන අපූරුව කහ පාට සලුව ඇඳ....

Wednesday, December 23, 2015

සුළඟටත් තියනවා හදවතක්......!


මහා සුළි සුළඟක්ව
රූස්ස ගස් පවා
මුලින් උදුරලා දැම්මට...

නිසල ගන්  දියක වුව
අනෝරා වැහි මවා
චණ්ඩ දිය රැළි  මැව්වට....

සුළඟටත් තියනවා හදවතක්
අපිට වාගෙම
හැම තත්පරේකම ගැහෙන...

නොපිපීම මිලින වන
පින්න මල් දෙස බලා
සිතින් නිහඬව වැළපෙන..

දැවෙන වැලි කතරකට
සිහින් හිරිපොද මවා
නොකියාම නික්මගොස් සැඟවෙන...

කඳු නිම්න අන්තයක
සප්ත පැහැ රූ මවා
ඉඳුසැවුට අත වනා නික්මෙන....

ළපටි හදවත් අසල
සුසුදු හසරැල් මවා
සරුන්ගල් ඈතකට ඇද යන

සුළඟටත් තියනවා හදවතක්
අපිට වාගෙම
හැම තත්පරේකම ගැහෙන.......

Monday, December 21, 2015

ආදරේ ඇති....


රිද්දන්න හිතාගෙන තුරු හිස
ඇහැළ මල් වලින් ගැහුවට
දැනෙන්නෑ ඒ කිසිත් පොළොවට....
නුඹේ අකීකරු හිත ලඟ
ඉතිරෙන මගේ පෙම වාගෙම
පොළොවත් ආදරේ ඇති
බිම වැටෙනම හැම මලටම
අවසාන මොහොතෙදිත්
සුවඳ දී ලගින් හිටියට.......

මහා හඬ නන්වමින් රළ ගොස
දහස් වර වෙරළ මත හැපුනට
සයුරු තෙර නිසසලයි සදහට.....
නුඹ පුදන කදුළු මල් අබියස
නොසැලෙන මගේ පෙම වාගෙම
වෙරළත ආදරේ ඇති
රිදුම් දෙන හැම වතුර බිදුවටම
කිසිදිනක වෙන් නොවී
හැමදාම එක ලෙසින් හිටියට.....

අවසාන දිය බිදත් උරාගෙන
දවා අළු කර දැම්මත් සහසකර
දුකක් නෑ නිරුදක කතරකට
තෙතක් නැති නුඹේ හිත අබියස
දලුලන මගේ පෙම වාගෙම
කතරත් ආදරේ ඇති
දැවෙන හිරු මඩලට
හිත පුරා ඉතිරෙන සෙනෙහස
පතොක් කුසුමක් ලෙසින් පිදුවට............

නුඹව අමතක නොවෙන හැටි....!!!!


ඇහැල මල් ගොමු පිපුණ හැටි
විහඟ ගී සර නැගුනු හැටි
වසන්තේ එක් සොඳුරු දිනයක
මගෙ ලොවට ඔබ ආව හැටි....

මුවග සුසුමන් නැගුනු හැටි
නෙතින් කදුළැලි ගලපු හැටි
නිමක් නැති දුක් පිදුම් ලැබුවද
ආදරේ මියනොගිය හැටි....

හිනා මල් බිම වැටුණු හැටි
හදවතම ගල් ගැහුනු හැටි
ජීවිතෙත් හරි අඩක් අරගෙන
නුඹ මගෙන් දුර ඇදුනු හැටි...

අතීතය මියඇදෙන හැටි
ජීවිතය යළි ගලන හැටි
කොතෙක් තරු කැට අහසෙ දිලුනත්
නුඹව අමතක නොවෙන හැටි....

Friday, December 18, 2015

වෙනස් වන කාලයට බොහෝ දේ කල හැකිය......


මම මේ ඡායාරූපය ගත්තෙ අපි ඉස්කෝලෙ ගිය අන්තිම දවසෙ. ගිය ජූලි මාසෙ admission ගන්න ගිහාම. අපි A/L කරලත් තාම වැඩි දවසක් නෑනෙ. ඒත් ඉස්කොලෙ කාලෙ ගැන මතක් වෙද්දි හිතෙන්නෙ අවුරුදු ගානකින් ඉස්සරහට ඇවිත් වගේ.

ආයෙ කවදාවත් අපිට ඉස්සර වගේ සුදු ගවුම් ඇදල බෙල් එක ගහන්න ඔන්න මෙන්න තියල ඉස්කෝලෙට දුවගෙන යන්න වෙන්නෙ නෑ. මැඩම් එන්න කලින් යාලුවන්ගෙ පොත් ඉල්ලගෙන හැටට හැටේ ගෙදර වැඩ ලියාගෙන යන්න වෙන්නෙ නෑ. අන්තිම පේළියට වෙලා චිට් පාස් කරන්න වෙන්නෙ නෑ. super star, ගීතයෙන් ගීතය, clip ගැසීම වගේ අපිම හදාගත්තු සෙල්ලම් කරලා ඇස් වලින් කඳුළු එනකම් හිනාවෙන්න වෙන්නෙ නෑ. chemistry practicle දවසට අපිට ඕන ඕන chemicals mix කරල පුපුරන පරීකශා නළ හන්ගන්න වෙන්නෙ නෑ. සාක්කු සතේට හිඳෙනකම් canteen එකට ගිහින් ice cream කන්න වෙන්නෙ නෑ. පිරිමි ළමයි එක්ක hand fight කරල දවස් ගාණක් යනකම් අත් වල vin cream ගාන වෙන්නෙ නෑ. ජීවිතේ කවදාවත් කරල නැති පිස්සු වැඩ කරන්න වෙන්නෙ නෑ. ඒත් ඒ මතකයන් නොසැලෙන පවුරු වගේ අපෙ හදවත් වල හැමදාටම සටහන් වෙලා තියෙයි.

කවදහරි දවසක ඒ මතකයන් වල සජීවී සුවඳ විදින්න අන්තිමට ඉතුරු වෙන්නෙ හැමදාම ලඟින් ඉන්නව කියල ලියන සමරු පොත් වල සටහන් විතරයි. දැනටමත් හැමදාම ලඟින් ඉන්නව කියපු කීදෙනෙක් text කරන්නෙවත් නැති තරමට දුරස් වෙලාද? හැම බැදීමක්ම එහෙමයි. සදාකාලික බැදීම් ලෝකෙ කොහෙවත් නෑ කියල මන් කවදහරි කොහෙදි හරි කියෙව්ව වගේ මතකයි.මට මතක් වුණේ අන්තර්ජාලයෙන්ම කියවපු කරුණාදාස සූරිය ආරච්චි මහත්මයා ලියපු කවියක්.

වෙනස් වන කාලයට
බොහෝ දේ කල හැකිය
සදා සපථ වූවන්
ලිහා වෙන් කල හැකිය....

කාලයත් හරි පුදුමයි. අද අපේ ජීවිතේ අපි ලඟින් ඉන්න කෙනෙක් හෙට ආයෙ කවදාවත් මුණනොගැසෙන තරමට දුරස් වෙලා යනව. අපිත් එක්ක කවදාවත් ජීවිතෙ බෙදාගනියි කියල හීනෙකින්වත් හිතන්නෙ නැති කෙනෙක් හෙට අපිත් එක්ක අත්වැල් බැදගන්නව. ඒ බැදීම්, වෙන්වීම් වලින් තම ජීවිතේ ඉදිරියට ගලාගෙන යන්නෙ.ඉතින් කාලයට ඉඩ දීල බලාගෙන ඉන්නව හැර අපිට වෙන කරන්න දෙයක් නෑ.

Wednesday, December 16, 2015

ආදරය


තාරුකා නෙත් වලින් ගිලිහෙනා හැම රෑම
පිනි බිඳකි ආදරය බොඳවෙනා ඉඳුරාම
හැරගියත් මතුදිනක වෙන්වෙලා නොකියාම
නොදේවිද සිසිලසක් ලන්වෙලා හැමදාම

Tuesday, December 15, 2015

ආදරෙත් එහෙමලු



සයුර හරි නපුරුයිලු
බොරු ගෝසාව විතරලු
කෑ ගසාගෙන ආවට
බිදී විසිරී ආයෙත්
හිටපු තැනටම යනවලු

එහෙම එන හැම වාරෙම
වැලි කැටේ කැටේ හරි
එකතු කරගෙන යනවලු
පුන්චි බෙලි කටු වලට
ඔච්චමට හිනා වෙනවලු

ඒත් ඉඳහිට දවසක
සුපිපි මුතු කැකුළක්
සයුර අඩගහන් එනවලු
නිහඩවම වෙරළට පුදකර
දැක්කෙ නැති ගානට
ආයෙත් යන්න යනවලු

හැදිනුවත් නොහදුනන
කලාතුරකින් දැනෙන
සුන්දරම ප්‍රේමයත් එහෙමලු
මොනතරම් නපුරු මුත්
වෙරළ රුදු රළ ගොසට
මේ තරම් ආදරෙත් ඒකලු.

Sunday, December 13, 2015

මම නැතිව නුඹ තනිව අදත් එහි ඉන්නවද?

මැයි මහේ ඇහැළ මල් තවත් නම් පිපෙනවද
තුහින වැස්සක් වගේ පෙති කඩා හැලෙනවද
සීරුවට විදගමින් නොපිපි කුසුමක සුවඳ
මම නැතිව නුඹ තනිව අදත් එහි ඉන්නවද?

ඉකිබිඳින විලෝ පත් තාම ඇදහැලෙනවද
හමායන මදනලට හොරෙන් ඉඟි පානවද
පිපෙන්නට වැර දරන පිච්ච කැකුළක් රැගෙන
යළිත් මම එනතුරා තවත් මඟ බලනවද?

කවිකාර කුරුල්ලෝ තාම ගී කියනවද
වැහි දියට තෙමීගෙන සෙවණකට ඇදෙනවද
පෙරදාක අපි දෙදෙන ඒ සෙවණ යට තනිව
උන්නු හැටි මුදු සරින් උන් හෙමින් ගයනවද?

වැහි වැටෙන වෙලාවට තාම කවි ලියනවද
පෙරදාක මුදු මතක ඉතින් සිත දවනවද
සිහිනයකි අතීතය කිසිදිනක එළි නොවෙන
යැයි සිතා නුඹත් හිත හදාගෙන ඉන්නවද?

ගලා යන කඳුළකින් තාම නෙත් තෙමෙනවද
ඉදහිටක දින පොතක මන් ගැනත් තියනවද
ඒ මතක විද දරා මොහොතකට හිත තුළම
ආයෙමත් හුස්ම පිඹ ඈතකට යවනවද?

Thursday, December 10, 2015

මම පුන්චි කාලෙ....


ඇට්ටේරියා ගහ යට
සුදුම සුදු පාටට
පාවඩ එලන කාලෙට
තෙමෙන්නට හිතාගෙන
මල් තුහින වැස්සක
මලින් බර තුරු අතු
සිලි සිලි තාලෙකට
සෙලෙව්වා මතකයි.....

අලුත් පාසල් වාරෙක
අලුත් සුදු නිල ඇදුම් ඇදගෙන
ඉස්කෝලෙ ගිය දවසක
අලුතින් ලැබුනු පොත් වල
සැඟව ඇති නැවුම් සුසුවඳ
දෑස් යුග පියාගෙන
සිතින් විදගත්තු හැටි මතකයි.....

රෑ අහස පුරාවට
පුන්චි මුතු ඇට වාගෙම
තාරුකා දිලිහෙන දවසක
තරු අතර ඇවිදින
අබිරහස් එළි සොයා
මගේ හිත වෙහෙසුනා මතකයි......

අදුරු සළු පොරවගෙන
නිමාවක් නැති විදිහට
අනෝරා වැහි වැටෙන කාලෙට
පරණ පිටු ඉරාගෙන
ලියලා ඉවර වුණු පොත් වල
කඩදාසි ඔරු තනා
පා කෙරුව හැටි මතකයි......

ඉසිඹුවක් නැතිවම
ඇල දොල පුරා කිමිදෙන
ගම පුරා ඇවිදින
ඉස්කෝලෙ නිවාඩු කාලෙට
දුණු ඊතල හදාගෙන
සොරුන් සතුරන් මවාගෙන
නම මතක නැති හරියට
රොබින් හුඩ් වාගෙ
සෙල්ලමක් කරා මතකයි....

එකිනෙකා පසුකර
ලෝකයම එක විදිහට
ඉදිරියට ඇදීයන කාලෙක
වර්ණවත් සමනළ තටුවක
සප්ත පැහැ දේදුණු යායක
ඉමිහිරි සිහිනයක දඟ කල
සුන්දර ළමා ලෝකයක්
මට තිබුණු බව මතකයි....

THE SAHAN


කඳුළු වැහි ඉසින කළු අහසකි
ආදරේ මල් පිපෙන පොළවකි
මේ දෙකම මැද හිදින මිනිසෙකි
ලෝකයක වැට කඩුලු බැමි නැති

ගලා ගිය නදියකට පෙම් බැදි
ටු බිදී ගිය තුරුණු වවුලෙකි
කුමරියක තබාගෙන කදු නැගි
ඔටුණු නොපළත් දුගී කුමරෙකි

හද පුරා නොලියවුන කවි ඇති
කප් කේක් කන පුන්චි පූසෙකි
රෑ පුරා නිදි වරණ දෙනෙතකි
අහස් කුස තරුවකට පෙම් බැදි

ගව් ගණන් ඇවිද යන දෙපයකි
කැමරාව මත රැදුන දෑතකි
මදහසක අරුත් දත් සොයුරෙකි
ජීවිතය කෝපි මත දියවෙති

හිස් සාද මැද හිදින උගතෙකි
ලෝකයම හිමි විසල් හදවතකි
මේ සියළු දේ දරන් මිනිසෙකි
ලෝකයක වැට කඩුලු බැමි නැති

ඒ සොඳුරු අතීතය හීනයක් වගේමයි


ඒ සොඳුරු අතීතය හීනයක් වගේමයි
ජීවිතේ කිසි බරක් දැනුනෙ නැති නිසාමයි
මේ සොඳුරු කවි සිතට පන දුන්නෙ ඔයාමයි
දුක හිතෙන ආදරෙත් ඉතින් නුඹ වගේමයි

Wednesday, December 9, 2015

දයාබර මඳනළේ හැකිතරම් දුර යන්න

දයාබර මඳනළේ
හැකිතරම් දුර යන්න
සිහිල් සුලඟක් මවා
විඩා සිත් සනහන්න

නළල් තල මත නැගෙන
ඩා බිඳක් පිසලන්න
කඳුළකට ඉඩ නොදී
සුසුමක්ව ලඟ ඉන්න

පාළු නිරුදක කතක
පැතුම් ඉටු කරලන්න
අනෝරා වැසි මවා
පතොක් මල් පුබුදන්න

මුව අගින් නික්මෙනා
ඉකිබිඳුම් නවතන්න
සිනාවක් වී ඇවිත්
දෙතොල් අග පූදින්න

මේකුළක් රැගෙනවිත්
හිරු තාප අවුරන්න
පිච්ච මලකින් හමන
සුවඳ ලොව පතුරන්න

හුදෙකලා හදවතක්
තනිකමෙන් මුදවන්න
පෙර දිනක මුදු මතක
ඉතිරි කර නික්මෙන්න

දයාබර මදනළේ
හැකිතරම් දුර යන්න
සිහිල් සුළඟක් වෙලා

විඩා සිත් සනහන්න...






Tuesday, December 8, 2015

ආදරය මුලාවක්



ආදරය මුලාවක්
සොඳුරු අත්වැරැද්දක්
හදවතම වෙලාගත්
අදුරු වැහි වළාවක් 

පුරාවට දෙවසරක්
දුක් කඳුළු මහමෙරක්
සීරුවට ගෙනත් දුන්
නපුරු භාවනාවක්

ලෙසින් දුක් හිනාවක්
හද දවන රටාවක්
ලොවෙන් මා දුරස් කළ
නුහුරු කල්පනාවක්

ආදරය මුලාවක්
සොඳුරු අත්වැරැද්දක්
ජීවිතය දෙකඩ කළ
රුදුරු වේදනාවක්

වැලන්ටයින්



නිමාවුණු නොවැම්බර් සිසිලක
මතකයන් හොර හොරෙන් අරගෙන
පෙම්වතුන්ගේ දිනය ඇවිදින්
ඉකිබිඳින දුකක හැඩ නොදැකම

කඳුළකින් බොදව ගිය යුගයක
පෙති හැලී මිලින වුණ කවියල
ශේශ මල් හොර හොරෙන් සිඹිමින්
සිත සොයයි අතීතේ වගතුග

හදවතේ පතුළකම සැගවුන
ආදරය හීනියට දළුලන
පෙම්වතුන්ගේ දිනය ඇවිදින්
නොවැම්බර් මතකයක් අරගෙන...

Sunday, December 6, 2015

සන්සාරගත ආදරේ...






සබඳ මේ එලඹිලා ඇත්තේ
එක්ව ලඟ හුන් තෙවසරක් නොව
අපරිමිත දුක් දරා රැකගත්
සන්සාරගත ආදරෙයි

ඇහැළ මල් බිම වැටී විසිරුන
විලෝ පත් මුදු සරින් වැළපුන
කලෙක ඉපදී දුර ගමන් ගිය
සන්සාරගත ආදරෙයි

සුසුදු පත්තිරු පුරා දඟ කල
භාවනාවක නෙළුම් පිඹිදුව
සුනෙරගිර අස පවා නොසැලුන
සන්සාරගත ආදරෙයි

රෑ පුරා නිදි නැතිව අවදිව
ගැටී මහමෙර දුකක වැළපුන
නොනිමි සෙනෙහස් ගඟක මියැදුන
සන්සාරගත ආදරෙයි

හදවතේ රිද්මයට යා වුණ
හුදෙකලාවක දෙතොල් ඈදුන
කප්පරක් පෙම් හැඟුම් පීදුන
සන්සාරගත ආදරෙයි

සබඳ මේ එළඹිලා ඇත්තේ
එක්ව ලඟ හුන් තෙවසරක් නොව
අපරිමිත දුක් දරා රැකගත්
සන්සාරගත ආදරෙයි

Tuesday, December 1, 2015

පෙන පිඩක් සේ බිඳුනු මගෙ පැතුම් වාගේම

සොඳුරු යටගියාවක මතකයන් සඟවාන
ගංඟාව ගලා යයි අදත් පෙර වාගෙම
සුදෝ සුදු පෙන කැටිති නැගේ ගල් කුලු ගාව
පෙන පිඩක් සේ බිඳුනු මගෙ පැතුම් වාගේම

Friday, November 27, 2015

දරා ඉකිලමි දැවී මියැදෙමි දිවි තුරා එය සුරකිමි...

හදේ ඉපදුන ප්‍රථම ප්‍රේමය
නුඹේ නමටම පුදදෙමි
නෙතින් දැකගමි සිතින් විදගමි
මුවින් කිසිවක් නොකියමි....

යනෙන මගතොට බලා ලතවෙමි
නෙතින් කදුළැල් නොහෙලමි
හිතින් ලග ඉමි අතේ පැටලෙමි
දුරින් රුව දැක සැනසෙමි...

සිහින නොනිදන රැයට ඉඩ දී
ලයට තුරුලුව සැතපෙමි
තුටින් හිනැහෙමි හොරෙන් මුමුණමි
අවදිවන්නට නොසිතමි....

දැනෙන තනිකම ඉතින් විදගමි
කිසිවෙකුත් යළි නොපතමි
දරා ඉකිලමි දැවී මියැදෙමි
දිවි තුරා එය සුරකිමි...

Thursday, November 26, 2015

වැස්සකට පුලුවන්

වැස්සකට පුලුවන්
මුළු ගතම වැහි දියෙන් නහවන්න
ඒත් බැරිවෙයි..
නුඹටමෙන් හදවතම දෝවන්න...

මදනළට පුළුවන්
සීතලට ගත වටා දැවටෙන්න
ඒත් බැරිවෙයි..
නුඹට මෙන් දැවෙන හද සනහන්න...

තරු වලට පුළුවන්
සඳ නොමැති අමාවක ලඟ ඉන්න
ඒත් බැරිවෙයි...
නුඹට මෙන් මගෙ තනිය දුරලන්න...

නෙළුමකට පුලුවන්
කලල් දිය විල් දියක් කරවන්න
ඒත් බැරිවෙයි
නුඹට මෙන් හද විලේ පූදින්න...

සුසුමකට පුළුවන්
නිරතුරුව ගත වටා දැවටෙන්න
ඒත් බැරිවෙයි..
නුඹට මෙන් නොකියාම දුර යන්න...

Sunday, November 8, 2015

සිනා බෝ දුරයි...


වතාවක් ඇවිත් නික්මුන
සිනාවක් වසත් සමයක
මතුවෙලා යළිත් නෙත් අස
කතාවක් කියයි...

මදනළක් රහස් අරගෙන
පුබුදුවා හොරෙන් සිත් මල
දැවටිලා යළිත් සියොලඟ
රටාවක් ගොතයි...

ලොවක් දී කඳුළු ඉතිරුණ
හිතක් දී බිඳී විසිරුණ
වෙන්වෙලා නුඹත් දුර ගිය
අතීතය දුකයි...

ඕන නෑ යළිත් මදහස
නික්ම යන නිසා දවසක
ඉකිලනා නෙතඟ කඳුලට
සිනා බෝ දුරයි...

Thursday, September 10, 2015

නොවැම්බර් මාසයට ආදරෙයි මම තවම............


අවාරේ වැහි වැටෙන
නිමක් නැති මල් හැලෙන
නොගිලිහෙන අත් දෙකක්
ආදරෙන් එක් කෙරුව
නොවැම්බර් මාසයට
ආදරෙයි මම තවම...

අරලියා අතු පතර
කුරුළු ගී රැව් දුන්න
වැහි දියට තෙමී ගිය
විලෝ පත් ඇදහැලුන

රැය පුරා නිදි නැතුව
නෙත් පුරා මඟ බැලුව
ඔබ මගෙද ඔබ මගෙද
නොදැන සිත ලත වෙච්ච

සුසුදු පත් ඉරු අතර
කුරුටු ගී ලියවෙච්ච
හදවතේ පන්හිඳට
ඉසිඹුවක් නොලැබිච්ච

මහමෙරක් පරදින්ට
ආදරේ ඉතිරිච්ච
නුඹේ එක් වදනකින්
හදවතම නැවතිච්ච
නොවැම්බර් මාසයට
ආදරෙයි මම තවම