Friday, November 27, 2015

දරා ඉකිලමි දැවී මියැදෙමි දිවි තුරා එය සුරකිමි...

හදේ ඉපදුන ප්‍රථම ප්‍රේමය
නුඹේ නමටම පුදදෙමි
නෙතින් දැකගමි සිතින් විදගමි
මුවින් කිසිවක් නොකියමි....

යනෙන මගතොට බලා ලතවෙමි
නෙතින් කදුළැල් නොහෙලමි
හිතින් ලග ඉමි අතේ පැටලෙමි
දුරින් රුව දැක සැනසෙමි...

සිහින නොනිදන රැයට ඉඩ දී
ලයට තුරුලුව සැතපෙමි
තුටින් හිනැහෙමි හොරෙන් මුමුණමි
අවදිවන්නට නොසිතමි....

දැනෙන තනිකම ඉතින් විදගමි
කිසිවෙකුත් යළි නොපතමි
දරා ඉකිලමි දැවී මියැදෙමි
දිවි තුරා එය සුරකිමි...

Thursday, November 26, 2015

වැස්සකට පුලුවන්

වැස්සකට පුලුවන්
මුළු ගතම වැහි දියෙන් නහවන්න
ඒත් බැරිවෙයි..
නුඹටමෙන් හදවතම දෝවන්න...

මදනළට පුළුවන්
සීතලට ගත වටා දැවටෙන්න
ඒත් බැරිවෙයි..
නුඹට මෙන් දැවෙන හද සනහන්න...

තරු වලට පුළුවන්
සඳ නොමැති අමාවක ලඟ ඉන්න
ඒත් බැරිවෙයි...
නුඹට මෙන් මගෙ තනිය දුරලන්න...

නෙළුමකට පුලුවන්
කලල් දිය විල් දියක් කරවන්න
ඒත් බැරිවෙයි
නුඹට මෙන් හද විලේ පූදින්න...

සුසුමකට පුළුවන්
නිරතුරුව ගත වටා දැවටෙන්න
ඒත් බැරිවෙයි..
නුඹට මෙන් නොකියාම දුර යන්න...

Sunday, November 8, 2015

සිනා බෝ දුරයි...


වතාවක් ඇවිත් නික්මුන
සිනාවක් වසත් සමයක
මතුවෙලා යළිත් නෙත් අස
කතාවක් කියයි...

මදනළක් රහස් අරගෙන
පුබුදුවා හොරෙන් සිත් මල
දැවටිලා යළිත් සියොලඟ
රටාවක් ගොතයි...

ලොවක් දී කඳුළු ඉතිරුණ
හිතක් දී බිඳී විසිරුණ
වෙන්වෙලා නුඹත් දුර ගිය
අතීතය දුකයි...

ඕන නෑ යළිත් මදහස
නික්ම යන නිසා දවසක
ඉකිලනා නෙතඟ කඳුලට
සිනා බෝ දුරයි...