Sunday, December 13, 2015

මම නැතිව නුඹ තනිව අදත් එහි ඉන්නවද?

මැයි මහේ ඇහැළ මල් තවත් නම් පිපෙනවද
තුහින වැස්සක් වගේ පෙති කඩා හැලෙනවද
සීරුවට විදගමින් නොපිපි කුසුමක සුවඳ
මම නැතිව නුඹ තනිව අදත් එහි ඉන්නවද?

ඉකිබිඳින විලෝ පත් තාම ඇදහැලෙනවද
හමායන මදනලට හොරෙන් ඉඟි පානවද
පිපෙන්නට වැර දරන පිච්ච කැකුළක් රැගෙන
යළිත් මම එනතුරා තවත් මඟ බලනවද?

කවිකාර කුරුල්ලෝ තාම ගී කියනවද
වැහි දියට තෙමීගෙන සෙවණකට ඇදෙනවද
පෙරදාක අපි දෙදෙන ඒ සෙවණ යට තනිව
උන්නු හැටි මුදු සරින් උන් හෙමින් ගයනවද?

වැහි වැටෙන වෙලාවට තාම කවි ලියනවද
පෙරදාක මුදු මතක ඉතින් සිත දවනවද
සිහිනයකි අතීතය කිසිදිනක එළි නොවෙන
යැයි සිතා නුඹත් හිත හදාගෙන ඉන්නවද?

ගලා යන කඳුළකින් තාම නෙත් තෙමෙනවද
ඉදහිටක දින පොතක මන් ගැනත් තියනවද
ඒ මතක විද දරා මොහොතකට හිත තුළම
ආයෙමත් හුස්ම පිඹ ඈතකට යවනවද?