Monday, January 11, 2016

අද අළු පාට දවසක්...


අද අළු පාට දවසක්... මටම කොනිත්ත ගත්තෙ මේ හීනයක්ද, නැත්තම් ඇත්තටම සිද්දවෙන දෙයක්ද කියල හරියට හිතාගන්ඩ බැරිවුන නිසා.අහස පුරාම කළුම කළු පාට වැහි වලාකුළු පිරිලා. නිල් පාටක් හොයාගන්ඩවත් බෑ. වැහි බින්දු අස්සෙ හැන්ගිලා ඒ අදුරු අළු පාට පොළවටත් ඇවිත් වගේ. තණකොළ උඩ වැටිල තියෙන පිණි බින්දුත් අළු පාටයි, කඳු යාය වසාගෙන ඉන්න මීදුමත් අළු පාටයි. කහ පාට තිත්ත මලුත් මැලවිලා ගිහින්.... පෙති දිගේ සීරුවට අළු පාට කඳුළු බින්දු බේරිලා. ඒ කඳුළු බින්දුවකට යට වුණ කූඹියෙක් පණ අදිනවා. ඌත් අළු පාටයි. මම බැලුවෙ ඔයා දුන්න රෝස ගහ දිහා.  අනේ ඒකත් අළු පාට වෙලා. මිදුල පුරාම විලෝ පත් හැලිලා...  ඒවත් අළු පාටයි.. මම ඇස් ඇරල තිබුන නිදිකුම්බා කොළයක් කඩල ගත්ත. මට බයෙන් වගේ එයා කොළ අතරෙ මූණ හන්ගගෙන හැකිලුනා. ඒත් ඒ අළු පාට මගෙ ඇඟිලි වල ගෑවුණා. ඒ කියන්නෙ මේක හීනයක් නෙමෙයි..!
අළුම අළු පාට සමනළයෙක් මන් දිහා බලලා බුම්මගෙන වගේ ඈතට ඉගිල්ලිලා ගියා. ගස් කොලනුත් මාත් එක්ක තරහින් වගේ.ඒ හැමෝම මන් දිහා බලන්නෙ හරියට මේ හැමදේම මගෙ වැරෙද්දෙන් වුණ දෙයක් වගේ. සමරවිට ඊයෙ රෑ තෙමිතෙමී මහ වැස්සෙ ඔයාව මතක් වෙලා මම අඩපු කඳුළුද දන්නෙ නෑ පාන්දර  අළු පාටවැස්සක් වගේ කඩන් වැටුණෙ. ඉතින් ඒකට මම මොනව කරන්ඩද? කඳුළු බින්දු එකින් එක එකතුවෙලා හදවතම හිරවෙයි කියන බයටයි මම හිත නිදහස් වෙනකල් ඇඩුවෙ. ඒකට මට සාධාරණ හේතුවක් තියෙනව. එහෙම තියෙද්දිත් මේ වගෙ ලොකු දඩුවමක් දෙන එක හරිම අසාධාරණයි.
ඒත් කමක් නෑ... හැමදේම අළු පාට වෙච්චාවෙ. තිත්ත මල් විතරක් නෙමෙයි මම ආසම රෙබරෝසි මල්, දවල් කුමාරි මල්, තණකොල මල් අස්සෙ පිපෙන ට්‍රයිඩැක්ස් මලුත් අළු පාට වෙච්චාවෙ. විලෝ පතුත් කවදාවත් දලුලන්නෙ නැතුව මේ බිම වැටිලා තියෙන විදිහටම තිබුණාවෙ. එතකොට කවදාවත් ඒවට වහින වෙලාවට වැළපෙන්ඩ බෑ.. ඒ කියන්නෙ මට ඔයාව මතක් කරල දෙන්ඩත් එයාලට බෑ කියන එකනෙ.. අනික එතකොට මට රතු පාට හැන්දෑවල් වල ඔයාව හිතින් මවාගෙන තනියම ගුරු පාරෙ ඇවිදින්ඩ යන්ඩ ඕනෙ නෑ, රෝස පාට පෙම්වතුන් දකිද්දි ඇස් වල කදුළු පුරවන් හූල්ලන්ඩ ඕනෙ නෑ. කහ පාට ඇහැළ මල් දෙවැට ලඟ ඔයා එනකල් කල්මරන්ඩ ඕනෙ නෑ. ඔයා ගැන හිත හිතා වරු ගනන් කොල පාට තණ කොල ගස් ගණන් කරන්ඩ ඕනෙ නෑ. නිල් පාට අහසෙ සුදු වළාකුළු එහා මෙහා කරල ඔයාගෙ රූපෙ මවාගන්ඩ ඕනෙ නෑ.ඉතින් මුලු ලෝකෙම අළු පාට විතරක් උනොත් කොච්චර හොඳද?
 මම අහස දිහා බැලුවා. අඳුර ගන්ඩ බැරි තරමට අහසට පොළව සමපාත වෙලා... හරියට සිහිනයකින් සිහිනයක් වසාගෙන වගේ. වලාකුළු, කඳු, මීදුම කිසි දෙයක් වෙන්කරලා අදුරගන්ඩ බැහැ. සමහරවිට සේකර 'ලෝකය තනි යායක්' කියල කියන්ඩ ඇත්තෙ මේ වගේ දවස් වලට. අදින් පස්සෙ මගේ ජීවිතේට කඳුළු වලට එබිකම් කරන්ඩ බැරිවෙයි. ඒ වගේම හසරැළි වලටත්.මොකද මේ අළුම අළු පාට හිස් අහස වගේම මගේ හදවතත් මියැදිලා.කොයිවෙලේ වැස්සක් වෙලා කඩන් වැටෙයිද කියන්ඩ බැරි සිතුවිලි වැහි වලාකුළු වගේ ඒ හදවතේ පිරිලා.
ඒත් සායම් ගාපු හිනාවක් මවාගෙන ඇවිදින දවස් තුන්සිය හැට පහකට වඩා මේ අළු පාට දවස මට වටිනව.අද දවසම මේ අළු පාට මේ විදිහටම තියෙයි.ඒ වගේම හෙටත්. හෙටින් පස්සෙ එලඹෙන හැම දවසකමත් මේ අළු පාට මෙහෙමම තියෙයි. මගේ හදවතේ ඔයා වෙනුවෙන් වෙන්වෙලා තියෙන අන්තිම සෙනේ බිදුවත් සිදිල යනකම් මේ අළුපාට තියෙයි... ඉතින් මම දන්නව මේ අළු පාට ලෝකයෙන් කවදාවත් මට මිදෙන්ඩ බැරි විත්තිය. මොකද නොනිවෙන හඳුන් කූරක් වගේ දැල්විලා හැමදාමත් මගේ හදවත ඔබ දවන බව මම දන්න නිසා.