Tuesday, August 20, 2024

රිදී තරු වියන යට ✨️


 " අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා "

මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම "The wind is silver". එය
"රිදී තරු වියන යට" නමින් සිංහලට පරිවර්තනය කර තිබුණෙ ප්රියංකා කහවණුගොඩ මහත්මිය.

"The wind is green" (සුළගේ ගීතය) නමින් පළවුනු කෘතියේ දෙවන කොටස විදිහටයි the wind is silver (රිදී තරු වියන යට) කෘතිය එළි දකින්නේ.

සුළගේ ගීතය නොහොත් පළමු කොටසෙහි අන්තර්ගත වෙන්නෙ, එකිනෙකාට හාත්පසින් වෙනස් දරුවන් සිව් දෙනෙකුත්, ඔවුන්ගේ දෙමාපියන් , මිතුරන්, අසල්වැසියන් සහ සුරතල් සතුන් වටා ගෙතෙන ඉතාමත් රසවත් කතාවක් . මේ කතාව අපට ඉදිරිපත් කරන්නේ පවුලේ වැඩියෙන්ම තරහ යන, හිතුවක්කාර චරිතය ලෙස හදුන්වන ජෙනිෆර් රොබින්සන් විසින්. ඇයගේ බලාපොරොත්තුව තමයි දක්ශ ලේඛිකාවක් වෙන එක. ඉතින් රෑ වුන විගස ඇය කරන්නේ පොරෝණය තුළට ගුලිවෙලා ලියන එක. එසේ ඇය ලියූ රචනාවක් තමයි පොතේ නම වන the wind is green (සුළඟ කොළ පාටයි) කියන්නේ.

මොනතරම් පීඩනේකින් ඉන්න වෙලාවක වුනත් හදවත කුරුලු පිහාට්ටක් තරම් සැහැල්ලු කරන්න පුලුවන් මැජික් බලයක් මේ පොතට තියනවා. මොකද ඕස්ට්රේලියානු ගැමි ජීවිතය පාදක කරගෙන ලියවුන පොතක් වුනත් ඒක කතාව අපේ ජීවිත වලට සෑහෙන්න සමානයි. අපේ පවුල් වල සහෝදර සහෝදරියන් අතර වෙන පුන්චි පුන්චි රණ්ඩු, විහිලු වගේම සංවේදී අවස්තාත් අඩුවක් නැතුව මේ කතාවෙ තියනවා. බිමින් තියන්නෙ නැතුව එක දිගට කියවගෙන යන්න පුලුවන් විදිහෙ උද්යෝගයක් මේ පොතට ලැබිලා තියෙන්නේ ඒ සමීපබව නිසා.

නමුත් දෙවෙනි පොත "රිදී තරු වියන යට" ට එද්දි ඒ තිබුණු නිදහස, සැහැල්ලු ගතිය, අඩු වෙලා යුතුකම්, වගකීම් සහ කැපකිරීම් කියන තැනට අපිව අරගෙන එනවා. පවුලක සහෝදර බැදීම කියන දේ හරිම ලස්සනට සහ සංවේදීව අපිට කියල දෙනවා. එකට ඉද්දි මොන තරම් රණ්ඩු වුනත් සමුගන්න වුනාම ඒක කොච්චර දුකක්ද කියල පෙන්නල දෙනවා.

ජෙනිෆර්ට කාමරේ බෙදාගන්න වුනු, රෑ තිස්සෙ ලාම්පුව පත්තු කරගෙන ලියනව කියල රණ්ඩු කරපු මාග්රට් රට යනවා. හැමදේටම ජෙනිෆර් එක්ක රණ්ඩු කරපු රිචඩ් පල්ලියේ පාදිලිතුමෙක් වෙනවා. කවදහරි පශු වෛද්ය කෙනෙක් වෙනවා කියල හීන දැකපු ජෙනිෆර්ගෙ පුන්චි මල්ලි ඇලෙක්සැන්ඩර් තාත්තගෙ ගොවිපල බාරගෙන ගොවි මහත්තයෙක් වෙනවා. හැමෝගෙම ජීවිත හිතුවට වඩා වෙනස් පැති වලට ගමන් කරනවා. නමුත් ජෙනිෆර් ඇගේ හීනෙට යනවා. ඒ වගේම පොත අවසන් වෙද්දි හිතුවක්කාර, නපුරු ජෙනිෆර් රොබින්සන් ඉවසිලිවන්ත, වගකීම්සහගත අක්කා කෙනෙක් බවට පරිවර්තනය වෙනවා.
" අපි ලොකු වෙද්දි හැමදේම වෙනස් වෙනවා" කියල ඇය, ඇගේ සටහන් පොතේ ලියන්නේ මේ නිසා.

සෑහෙන කාලෙකින් මේ පොත් දෙක කියවල නැතත් අදටත් ඒක මතක් වෙද්දි හදවතට දැනෙන්නෙ වචනයට නගන්න තේරෙන්නෙ නැති හැඟීමක්. අවුරුදු 15 කට කලින් අපි ගත කරපු ජීවිතයයි, දැන් අපි ගෙවන ජීවිතයයි කොච්චර වෙනස්ද. කොච්චර අමාරුද. ඇත්ත...
අපි ලොකු වෙද්දි හැමදේම වෙනස් වෙනවා.

"රිදී තරු වියන යට" අවසන් වෙන්නේ ජෙනිෆර් එයාගෙ කාමරේ පෝරෝණය තුළට ගුලි වෙලා ලියන සටහනකින්.ඉතින් ඒ සටහනින් මම මේ සටහනත් අවසන් කරන්නම්.

" ඉස්සර මං පුංචි කාලෙ ....මං ලීවා සුළඟ කොළ පාටයි කියලා.අද රෑ මට හැම අතින්ම දැනෙන්නේ පැඟිරි සුවඳයි , මිංචි සුවඳයි..අහස පුරාම තරු වියනක්.ගෙම්බොයි , රැහැයියොයි කෑ ගහනවා.රිදී පාට තරු එළියක් මගේ කාමරේ ජනේලය අතරින් ඇඳ උඩට වැටිලා..සීතල සුළං හමා යනවා.ඔව් සුළඟ රිදී පාටයි...සුළඟට පාටක් තියෙනවා නම් නිසැකවම එය කොළ පාට නොව රිදීපාට විය යුතුයි..."

-විශ්-

4 comments:

  1. පොතක් අතට ගත්තම ලොව පුරා වගේම සිත් ඇතුළටත් රිසි සේ යන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත . ඒ කලේ අපි ලෝකේ වටේ ගියේ පොත් වලින්නේ

      Delete
  2. කතන්‍යාගේ ධරනි පොත වගේ දැක්කේ එකපාරටම

    ReplyDelete
  3. සෑම නිමේශයක්ම ගත වෙන්නෙ වෙනස්වීම කියන සගයවත් කැටුව කියල කියනවනෙ 💔!

    ReplyDelete

රිදී තරු වියන යට ✨️

  " අපි ලොකු වෙද්දි, හැමදේම වෙනස් වෙනවා " මගේ ජීවිතේට ඉතාමත් සමීප ඒ වචන පෙළ තිබුණේ වසර ගණනාවකට කලින් මං කියවපු පොතක. පොතේ නම "...