කහ පාට ඇහැළ පෙති වස්සමින් මඟ දෙපස
වඩින මැයි මාසයක හැලෙන මල් නිම් නොමැත
මුදු රේණු අතුරමින් රටා මවනා අරුම
පියෙන් පිය තබා යමි නොපාගා මල් යහන
බිම වැටී මිලින වෙන හැම ඇහැළ මලකටම
කතාවක් ඇත් කිසිම දිනෙක අමතක නොවන
තුරු මුදුන මත රැදී හිරුට මදහස පෑව
වතාවක් ඇවිත් ගිය වසන්තේ දිනක් ගැන
හෙමි හෙමින් බිම වැටී අතීතය අවුලුවන
පිණි කඳුළු වැහි සලන මේ ඇහැළ මල් මිසක
අන් කිසිත් කියාවිද අතීතය සතු දිනක
වෙන්වෙලා දුරක ගිය සොඳුරු කවි සිතක් ගැන
හදවතේ මැද මිදුලෙ රිදුම් තැන් සඟවාන
ලොවම ලස්සන කරයි නොවෙද මේ මල් පැහැය
බිම වැටෙන හෙට පිපෙන සියලු මල් හා එක්ව
සිනාසෙන අපූරුව කහ පාට සලුව ඇඳ....