Monday, September 19, 2022

ස්වර්ගයේ දොර අසල හිදිමි මම බලාගෙන


 තත්පරෙන් තත්පරය කාලයේ තාලයට

පැනගියත් නිමාවක් තිබේවිද ආලයට

එදා මෙන් අදත් ඔබ තබාගෙන මා ලයට

ගෙවෙන්නට ඉඩහරිමු මේ සැදෑ කාලයට


තිබුණ මුත් අප වටා නේක පදනම් පවුරු

කිසිදාක වෙන් නොවී හිදින්නට මට දිවුරු

ගඟක් වී ජීවිතේ හැඩ කෙරූ හද ඉවුරු

රාජිණිය මගෙ සිතේ ඔබම හැර අන් කවුරු


තිබුණාට ගතවෙලා වසර හැට හතරක්

දැනුනාද කිසි දිනක ආදරේ අඩුවක්

නුඹට පෙර නික්මෙන්න එකම එක ගමනක්

එදා අල්තාරෙදී පැතුව මම පැතුමක්


නිල් පැහැති දෙනෙත් යුග තිරලෙසින් වසාගෙන

අදින් පසු නුඹ හිඳියි සදාකල් නිදාගෙන

වඩිනු මැන මගෙ ලොවට වසන්තේ හිනාගෙන

ස්වර්ගයේ දොර අසල හිදිමි මම බලාගෙන


-විශ්-

Monday, June 27, 2022

අපූර්ව, නුඹ එන්න



සෝනාඩංගා  මිටියාවතේ

පුන්චි සුදු පාට තණකොල මල්

පිපී ඇද්දැයි බලන්න


ඉජාමතී නදීතෙර අස

නන්නාදුනන පක්ෂියෙකුගේ

මිහිරි ගීයක් විදින්න


ඩල්සේමාරි ජලාසය කෙළවර

තණකොල පැහැති ධාන්‍ය පඳුරු යට

උරිස්සට වාරු වී හිදින්න


නිශ්චින්දිපුර අහසේ

මොණර නිල් පැහැ වලාකුළු 

පාවෙනා හැටි දකින්න


බට කැලයක් මැද 

තනිවුනු කුඩා නිවසකි මම

ආදරණීය අපූර්ව, නුඹ එන්න ....


Thursday, June 9, 2022

ඒ හුරුපුරුදු විලවුන් සුවඳ


 ඒ හුරුපුරුදු විලවුන් සුවඳ

කොහේ සිට පැමිණෙන්නේද?


සත් සමුදුරු ගෙවා ආ 

පෙරදිග සුළං සමඟද

නැත්නම්...

හදවතේ පතුලකම සැගවුනු

මතක අහුරක් සමගද..


නොදනිමි....

Saturday, June 4, 2022

ආදරේ තියෙන්නෙ පොඩි අයටද?


 

"ආදරේ තියෙන්නෙ පොඩි අයට. අපි දැන් ලොකුයි"

එහෙම කීවෙ මගේ පැරණි මිතුරෙක් අපි දෙන්න අතර ඇතිවුන සංවාදෙකදි. ඉතින් ඇත්තටම ආදරේ ඕන පොඩි කාලෙ විතරද? ලොකු වෙද්දි ආදරයක් ඕන නැද්ද? එහෙමත් නැත්නම් ලොකු වෙද්දි ආදරේ කියන්නෙ බොරුවක් කියල හිතෙනවද...

මම හිතන විදිහට නම් අපිට ආදරේ වැඩියෙන්ම ඕන වෙන්නෙ ලොකු වුනාම. සමාජෙත් එක්ක ගැටෙද්දි, දෙමව්පියන් ,සහෝදර සහෝදරියන් , යාලුවන් ටිකෙන් ටික දුරස් වෙද්දි, හිතේ තිබුණු හීන, බලාපොරොත්තු අහිමි වෙද්දි තමයි අපිට ආදරේ කරන කෙනෙක්ගෙ අවශ්‍යතාව වැඩියෙන්ම දැනෙන්නෙ.

සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට මුලින්ම වෙනත් කෙනෙක් ගැන ආකර්ෂනයක් ඇති වෙලා ආදරය කරන්න පටන් ගන්න පාසල් කාලෙදි. පාසල් කාලෙ කියන්නෙ දෙමාපියන්ගෙ ආදරය රැකවරණය නොඅඩුව ලැබෙන කාලයක්නෙ. හැබැයි මේ කාලෙදිත් බහුතරයක් ළමයි ප්‍රේම සම්බන්ධයකට යනවා. ඒත් මේ බොහෝමයක් සම්බන්ධතා පාසලෙන් ඉවත් වුන ගමන් නැතිවෙලා යනවා. මොකද එතන වැඩියෙන්ම තියෙන්නෙ තහනම් දේ කිරීමට මොළෙන් ලබා දෙන උත්තේජනයක්. ගෙවල් වලට රහසින්, පාසලේ නීති රීති මැද්දෙ, නොයෙක් බාධක , අභියෝග මැද්දෙ ගලන් යද්දි තමයි මේ ප්‍රේම කතා සුන්දර. ඉතින් පාසල් කාලෙන් පස්සෙ ඒ කතන්දර නැති නිසා  මේ ආකර්ෂනය එහෙම් පිටින්ම  නැති වෙලා යනවා.

එතනින් පස්සෙ  ආයෙමත් සම්බන්ධයක් ඇති වෙන්නෙ කැම්පස් එකක හරි, මොකක් හරි උසස් අධ්‍යාපන ආයනයකදි. ඒ ජීවිතේ  භයානකම කාලයක්. නිදහස උපරිමේටම තියන කාලයක්. හිත හැමතිස්සෙම වෙනස් වෙන කාලයක්. දකින දකින දේ එක්ක බැදෙන කාලයක්. තමන් පිළිබද තියන මමත්වය වැඩිම කාලයක්. මේ නිසා ගොඩක් අය අනිත් කෙනාව යටත් කරගෙන ඉන්න තමා මේ කාලෙ බලන්නෙ . ඉතින් මේ සබඳතා විවාහය දක්වා යන අවස්ථා වගේම ඊට කලින් වෙන්වෙන අවස්ථාත් තියනවා. බහුතරය වෙන්වෙනවා.

එතනිනුත් වෙන්වුන කෙනෙක්ට අවුරුදු 28ක් 29ක් වුනාම හිතෙන්න පුලුවන් "ආදරේ කියල දෙයක් නෑ.. අපි දැන් ලොකුයි" කියලා. ඒක වැරදී කියන්න අපිට බෑ. මොකද ආදරේදි ඔවුන්  මුහුණ දුන්න දේවල් වලට අපි මුහුණදීලා නැතිවෙන්න පුලුවන්. හැබැයි මම හිතන විදිහට අවුරුදු 29ක් නෙමේ 35ක් 40ක් වුනත් ආදරේ කියන දේ තියෙන්න ඕන , දැනෙන්න ඕන.

ආදරේ කියල මං කියන්නෙ එක හුස්මට ආදරෙයි ආදරෙයි කියාන යන එකවත්, ඔයා කනකන් මං කන්න නෑ කියන එකවත් නෙමෙයි. (එතනත් ආදරේ ඇති. හැබැයි ඒක වෙනස්) වැඩ කන්දක් ඉවර කරල ගෙදර එද්දි "ඔයා ආවද" කියල අහන්න හරි  සමීපතමයෙක් මේ ලෝකේ ඕනම කෙනෙක්ට ඉන්න ඕන කියලයි මට හිතෙන්නෙ. ඔයා නිදාගන්නකන් මං නිදාගන්නෙ නෑ කියන්න නෙමෙයි මං "නිදාගන්නවා, ඔයා කීයටද එන්නෙ" අහන එකත් ආදරයක් . අපේ ජීවිතේට ඒ වගේ පුන්චි දේකින් වුනත් ලොකු තල්ලුවක් ලැබෙනවා

සමහරවිට මං බොළද ඇති. ඒත් මං හැමදාම කියන්නෙ I still believe in  love කියලා. ඇහැට පේන්නෙ නැති වුනත්, විද්‍යාත්මකව පැහැදිලි කරල නැති වුනත් ආදරය කියල දෙයක් පවතිනවා.ඒක සුළඟක් වගේ . පේන්නෙ නෑ. දැනෙනව විතරයි. අපි කොච්චර වයසට ගියත් ඒක නැති වෙන්නෙ නෑ.
මට හිතෙන්නෙ එහෙම❤

-විශ්-

Sunday, May 15, 2022

පාසල් සමයේ වෙසක් මතක

 

 

අපි ආසාවෙන්ම  වෙසක් සැමරුවෙ ඉස්කෝලෙ යන කාලේ. ලස්සනටම සරසන පන්තියටයි, ලස්සනම වෙසක් කූඩුව හදන පන්ති තුනටයි ඉස්කෝලෙන් තෑගි දෙනවා. ලස්සනම කූඩුවට චොක්ලට් බිස්කට් පෙට්ටියක්. දෙවෙනියට වේෆස් පෙට්ටියක්. තුන්වෙනියට මාරි පෙට්ටියක් . 


අපි මුලින්ම ඒකට කූඩුවක් හැදුවෙ 6 වසරෙදි. එදා ඉගැන්නුවෙත් නෑ. කූඩු හදන්නමයි දීල තිබුනෙ. අපේ පන්තියෙන් හැදුවෙ ලොකුම ලොකු අටපට්ටමක්. කොච්චර ලොකුද කියනව නම් අලවන්න ගෙනාපු කොලත් මදි වුනා. ඒත් ඉතුරු වුන කොල කෑලි ටිකක් මූට්ටු කරල කූඩුව කොහොමහරි  අලව ගත්තා. ඊට පස්සෙ ආවෙ රැළි දාන ප්‍රශ්නෙ. රැළි නොදා කූඩුව වෙසක් කූඩුවක් නෙමෙයි වගේ. ඒත් ඉතින් කොලත් ඉවරයි. අන්තිමට කපපු කොල කෑලි ටිකකින් අල්ලක් විතර උසට යට රැළි ටික දැම්මා. දැපැත්තට මොන රැලිද 😁


සද්ධන්ත කූඩුවෙ ගණන් බැස්සා රැළි අල්ලක් දැම්මට පස්සෙ. හැදුවට පස්සෙ අපිටම හිනා. අන්තිමට කවුරුත් බාරගන්න කැමති නෑ ඒක ඔෆිස් එකට බාර දෙන වැඩේ. එච්චරකට ලස්සනයි කූඩුව. ඒ සෑරේ නම් තෑගි තියා හුළනුත් නෑ .


මුලින්ම අපිට වෙසක් එකට තෑග්ගක් හම්බුනේ 10 වසරෙදි. තුන්වෙනි තැන. ඒ කියන්නෙ මාරි පෙට්ටියක්. ඒත් අපි බැහැලම කූඩුවක් හැදුවෙ 11 වසරෙදි. නිවාඩු දවසක් දාගෙන ක්ලාස් එකේ හැමෝම අපේ ගෙදර ඇවිත් හැදුවේ. රෑ එලි වෙනකන්ම වගේ වැඩ කරා. හැබැයි මහන්සි වුන තරමට ප්‍රතිඵල තිබුණෙ නෑ. ඇලවෙච්ච කූඩුවක් තමයි හැදිල තිබුණෙ. ඇලවෙන කූඩුව කියල නමකුත් දැම්ම නම් ෆස්ට් ප්ලේස් එකත් ලැබෙන්න තිබුන. 😅


අටපට්ටම් දෙකක් එකතු කරල උඩට පිරමීඩයක් සෙට් කරාම එන හැඩේ වගේ විකාරරූපී හැඩයක් තිබුණෙ.  පොඩි කූඩු ටිකකුත් හදල වටේට එල්ලුවා. ඒ මදි වගේ හිතුන නිසා තඩි නෙළුම් මලක් හදල කූඩුවම  ඒකට බැස්සුවා . ඇලෙව්වෙ හනස් , පත්තර කොල, පොල් කොළ වගේ ඉවත දාන දේවල් වලින්. කෙටියෙන්ම කීවොත් ඉතින් කූඩුව කැතයි 😁


ජජ් බෝඩ් එකට අපේ පන්තියෙන් විස්තර කරන්න හිටියෙ මං. අපිට තිබුණ එකම ප්ලස් පොයින්ට් එක ස්වභාවික දේවල් භාවිතා කරල හදල තිබුණ එක විතරයි . ඉතින් ඒකම හයිලයිට් කර කර විස්තර කරා. අන්තිමේ ඒ සැරෙත් මාරි පෙට්ටියක් හම්බුණා 😀


ඒ තමා අන්තිමට ඉස්කෝලෙදි වෙසක් කූඩු හදපු අවුරුද්ද. 12 වසරෙදි  සාරාර්ථ එක්සිබිශන් එක තිබුණ නිසා වෙසක් සමරන්න වුනේ නෑ. 13 වසරෙදි වෙසක් තිබුණද කියල මතකයක් නෑ 🤔.


ඒ ලෙවල් කාලෙට වඩා මං තාමත් ආස ඕලෙවල් කාලෙට.  නිදහසේම හිටියේ ඒ කාලෙ.  සෑහෙන බැරෑරුම් වැඩ වගේ පෙනුනට දැනුත්  මතක් කර කර හිනා වෙන්න තියෙන්නෙ ඕලෙවල් කාලෙ කරපු වැඩ තමයි.


ෆොටෝ එකේ ඉන්නෙ අපේ ඕලෙවල් පන්තිය 9 වසරෙ ඉදන් පන්තිභාර හිටිය මැඩම් එක්ක ❤️

Wednesday, December 4, 2019

පොත් කියන්නේ සබද, ඒ වගේ දේකට !



පොත් කියන්නේ සබද
මේ වගේ දේකට

තත්පරෙන් ඇසිල්ලක්
 වගේ එක මොහොතක
හදවතේ නහර හැම
ගල් කරන දේකට

භාවනාවක් වගේ
සති ගණක් එක තැන
අපේ හිත් නවත්තන
හරි පුදුම දේකට

හොදටෝම දැන දැනත්
මේව බොරු දේ බව
නෙත් වලින් කදුලු බිදු
වට්ටවන දේකට

මුතු කරාඹුව සමග
හොග්වෝට්ස් ලෝකෙක
හිත අතරමං කරපු
සොදුරුතම දේකට

ඕක ලොකු පිස්සුවක්
කියා නුඹ කීවට
පොත් කියන්නේ
සබද ඒ වගේ දේකට

Saturday, November 23, 2019

ගෙදර ❤



මං හරිම  ආසයි
 ගෙදර යනවා කියා දැනෙනවට
හුරු පුරුදු සුළං රැළි
හමාගෙන ඇවිත් ගත වදිනවට..

හුරු පුරුදු නම් ගහපු
බස් එකක් දෙකක් මග හැරෙනවට
හුරුපුරුදු මුහුණකින්
"ගෙදර යනවා" වගේ ඇහෙනවට

හුරුපුරුදු ගස් කොලන්
මල් දරා සැරසිලා සිටිනවට
හුරුපුරුදු සිනාවක්
වැට අසල මග බලන් ඉන්නවට

මං හරිම ආසයි
ගෙදර යනවා කියා දැනෙනවට
ඒ හුස්ම පොද දිගේ
හදවතම මලක් වී පිපෙනවට