Monday, December 21, 2015

ආදරේ ඇති....


රිද්දන්න හිතාගෙන තුරු හිස
ඇහැළ මල් වලින් ගැහුවට
දැනෙන්නෑ ඒ කිසිත් පොළොවට....
නුඹේ අකීකරු හිත ලඟ
ඉතිරෙන මගේ පෙම වාගෙම
පොළොවත් ආදරේ ඇති
බිම වැටෙනම හැම මලටම
අවසාන මොහොතෙදිත්
සුවඳ දී ලගින් හිටියට.......

මහා හඬ නන්වමින් රළ ගොස
දහස් වර වෙරළ මත හැපුනට
සයුරු තෙර නිසසලයි සදහට.....
නුඹ පුදන කදුළු මල් අබියස
නොසැලෙන මගේ පෙම වාගෙම
වෙරළත ආදරේ ඇති
රිදුම් දෙන හැම වතුර බිදුවටම
කිසිදිනක වෙන් නොවී
හැමදාම එක ලෙසින් හිටියට.....

අවසාන දිය බිදත් උරාගෙන
දවා අළු කර දැම්මත් සහසකර
දුකක් නෑ නිරුදක කතරකට
තෙතක් නැති නුඹේ හිත අබියස
දලුලන මගේ පෙම වාගෙම
කතරත් ආදරේ ඇති
දැවෙන හිරු මඩලට
හිත පුරා ඉතිරෙන සෙනෙහස
පතොක් කුසුමක් ලෙසින් පිදුවට............

නුඹව අමතක නොවෙන හැටි....!!!!


ඇහැල මල් ගොමු පිපුණ හැටි
විහඟ ගී සර නැගුනු හැටි
වසන්තේ එක් සොඳුරු දිනයක
මගෙ ලොවට ඔබ ආව හැටි....

මුවග සුසුමන් නැගුනු හැටි
නෙතින් කදුළැලි ගලපු හැටි
නිමක් නැති දුක් පිදුම් ලැබුවද
ආදරේ මියනොගිය හැටි....

හිනා මල් බිම වැටුණු හැටි
හදවතම ගල් ගැහුනු හැටි
ජීවිතෙත් හරි අඩක් අරගෙන
නුඹ මගෙන් දුර ඇදුනු හැටි...

අතීතය මියඇදෙන හැටි
ජීවිතය යළි ගලන හැටි
කොතෙක් තරු කැට අහසෙ දිලුනත්
නුඹව අමතක නොවෙන හැටි....