Thursday, December 10, 2015

මම පුන්චි කාලෙ....


ඇට්ටේරියා ගහ යට
සුදුම සුදු පාටට
පාවඩ එලන කාලෙට
තෙමෙන්නට හිතාගෙන
මල් තුහින වැස්සක
මලින් බර තුරු අතු
සිලි සිලි තාලෙකට
සෙලෙව්වා මතකයි.....

අලුත් පාසල් වාරෙක
අලුත් සුදු නිල ඇදුම් ඇදගෙන
ඉස්කෝලෙ ගිය දවසක
අලුතින් ලැබුනු පොත් වල
සැඟව ඇති නැවුම් සුසුවඳ
දෑස් යුග පියාගෙන
සිතින් විදගත්තු හැටි මතකයි.....

රෑ අහස පුරාවට
පුන්චි මුතු ඇට වාගෙම
තාරුකා දිලිහෙන දවසක
තරු අතර ඇවිදින
අබිරහස් එළි සොයා
මගේ හිත වෙහෙසුනා මතකයි......

අදුරු සළු පොරවගෙන
නිමාවක් නැති විදිහට
අනෝරා වැහි වැටෙන කාලෙට
පරණ පිටු ඉරාගෙන
ලියලා ඉවර වුණු පොත් වල
කඩදාසි ඔරු තනා
පා කෙරුව හැටි මතකයි......

ඉසිඹුවක් නැතිවම
ඇල දොල පුරා කිමිදෙන
ගම පුරා ඇවිදින
ඉස්කෝලෙ නිවාඩු කාලෙට
දුණු ඊතල හදාගෙන
සොරුන් සතුරන් මවාගෙන
නම මතක නැති හරියට
රොබින් හුඩ් වාගෙ
සෙල්ලමක් කරා මතකයි....

එකිනෙකා පසුකර
ලෝකයම එක විදිහට
ඉදිරියට ඇදීයන කාලෙක
වර්ණවත් සමනළ තටුවක
සප්ත පැහැ දේදුණු යායක
ඉමිහිරි සිහිනයක දඟ කල
සුන්දර ළමා ලෝකයක්
මට තිබුණු බව මතකයි....

THE SAHAN


කඳුළු වැහි ඉසින කළු අහසකි
ආදරේ මල් පිපෙන පොළවකි
මේ දෙකම මැද හිදින මිනිසෙකි
ලෝකයක වැට කඩුලු බැමි නැති

ගලා ගිය නදියකට පෙම් බැදි
ටු බිදී ගිය තුරුණු වවුලෙකි
කුමරියක තබාගෙන කදු නැගි
ඔටුණු නොපළත් දුගී කුමරෙකි

හද පුරා නොලියවුන කවි ඇති
කප් කේක් කන පුන්චි පූසෙකි
රෑ පුරා නිදි වරණ දෙනෙතකි
අහස් කුස තරුවකට පෙම් බැදි

ගව් ගණන් ඇවිද යන දෙපයකි
කැමරාව මත රැදුන දෑතකි
මදහසක අරුත් දත් සොයුරෙකි
ජීවිතය කෝපි මත දියවෙති

හිස් සාද මැද හිදින උගතෙකි
ලෝකයම හිමි විසල් හදවතකි
මේ සියළු දේ දරන් මිනිසෙකි
ලෝකයක වැට කඩුලු බැමි නැති

ඒ සොඳුරු අතීතය හීනයක් වගේමයි


ඒ සොඳුරු අතීතය හීනයක් වගේමයි
ජීවිතේ කිසි බරක් දැනුනෙ නැති නිසාමයි
මේ සොඳුරු කවි සිතට පන දුන්නෙ ඔයාමයි
දුක හිතෙන ආදරෙත් ඉතින් නුඹ වගේමයි