Saturday, June 4, 2022

ආදරේ තියෙන්නෙ පොඩි අයටද?


 

"ආදරේ තියෙන්නෙ පොඩි අයට. අපි දැන් ලොකුයි"

එහෙම කීවෙ මගේ පැරණි මිතුරෙක් අපි දෙන්න අතර ඇතිවුන සංවාදෙකදි. ඉතින් ඇත්තටම ආදරේ ඕන පොඩි කාලෙ විතරද? ලොකු වෙද්දි ආදරයක් ඕන නැද්ද? එහෙමත් නැත්නම් ලොකු වෙද්දි ආදරේ කියන්නෙ බොරුවක් කියල හිතෙනවද...

මම හිතන විදිහට නම් අපිට ආදරේ වැඩියෙන්ම ඕන වෙන්නෙ ලොකු වුනාම. සමාජෙත් එක්ක ගැටෙද්දි, දෙමව්පියන් ,සහෝදර සහෝදරියන් , යාලුවන් ටිකෙන් ටික දුරස් වෙද්දි, හිතේ තිබුණු හීන, බලාපොරොත්තු අහිමි වෙද්දි තමයි අපිට ආදරේ කරන කෙනෙක්ගෙ අවශ්‍යතාව වැඩියෙන්ම දැනෙන්නෙ.

සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට මුලින්ම වෙනත් කෙනෙක් ගැන ආකර්ෂනයක් ඇති වෙලා ආදරය කරන්න පටන් ගන්න පාසල් කාලෙදි. පාසල් කාලෙ කියන්නෙ දෙමාපියන්ගෙ ආදරය රැකවරණය නොඅඩුව ලැබෙන කාලයක්නෙ. හැබැයි මේ කාලෙදිත් බහුතරයක් ළමයි ප්‍රේම සම්බන්ධයකට යනවා. ඒත් මේ බොහෝමයක් සම්බන්ධතා පාසලෙන් ඉවත් වුන ගමන් නැතිවෙලා යනවා. මොකද එතන වැඩියෙන්ම තියෙන්නෙ තහනම් දේ කිරීමට මොළෙන් ලබා දෙන උත්තේජනයක්. ගෙවල් වලට රහසින්, පාසලේ නීති රීති මැද්දෙ, නොයෙක් බාධක , අභියෝග මැද්දෙ ගලන් යද්දි තමයි මේ ප්‍රේම කතා සුන්දර. ඉතින් පාසල් කාලෙන් පස්සෙ ඒ කතන්දර නැති නිසා  මේ ආකර්ෂනය එහෙම් පිටින්ම  නැති වෙලා යනවා.

එතනින් පස්සෙ  ආයෙමත් සම්බන්ධයක් ඇති වෙන්නෙ කැම්පස් එකක හරි, මොකක් හරි උසස් අධ්‍යාපන ආයනයකදි. ඒ ජීවිතේ  භයානකම කාලයක්. නිදහස උපරිමේටම තියන කාලයක්. හිත හැමතිස්සෙම වෙනස් වෙන කාලයක්. දකින දකින දේ එක්ක බැදෙන කාලයක්. තමන් පිළිබද තියන මමත්වය වැඩිම කාලයක්. මේ නිසා ගොඩක් අය අනිත් කෙනාව යටත් කරගෙන ඉන්න තමා මේ කාලෙ බලන්නෙ . ඉතින් මේ සබඳතා විවාහය දක්වා යන අවස්ථා වගේම ඊට කලින් වෙන්වෙන අවස්ථාත් තියනවා. බහුතරය වෙන්වෙනවා.

එතනිනුත් වෙන්වුන කෙනෙක්ට අවුරුදු 28ක් 29ක් වුනාම හිතෙන්න පුලුවන් "ආදරේ කියල දෙයක් නෑ.. අපි දැන් ලොකුයි" කියලා. ඒක වැරදී කියන්න අපිට බෑ. මොකද ආදරේදි ඔවුන්  මුහුණ දුන්න දේවල් වලට අපි මුහුණදීලා නැතිවෙන්න පුලුවන්. හැබැයි මම හිතන විදිහට අවුරුදු 29ක් නෙමේ 35ක් 40ක් වුනත් ආදරේ කියන දේ තියෙන්න ඕන , දැනෙන්න ඕන.

ආදරේ කියල මං කියන්නෙ එක හුස්මට ආදරෙයි ආදරෙයි කියාන යන එකවත්, ඔයා කනකන් මං කන්න නෑ කියන එකවත් නෙමෙයි. (එතනත් ආදරේ ඇති. හැබැයි ඒක වෙනස්) වැඩ කන්දක් ඉවර කරල ගෙදර එද්දි "ඔයා ආවද" කියල අහන්න හරි  සමීපතමයෙක් මේ ලෝකේ ඕනම කෙනෙක්ට ඉන්න ඕන කියලයි මට හිතෙන්නෙ. ඔයා නිදාගන්නකන් මං නිදාගන්නෙ නෑ කියන්න නෙමෙයි මං "නිදාගන්නවා, ඔයා කීයටද එන්නෙ" අහන එකත් ආදරයක් . අපේ ජීවිතේට ඒ වගේ පුන්චි දේකින් වුනත් ලොකු තල්ලුවක් ලැබෙනවා

සමහරවිට මං බොළද ඇති. ඒත් මං හැමදාම කියන්නෙ I still believe in  love කියලා. ඇහැට පේන්නෙ නැති වුනත්, විද්‍යාත්මකව පැහැදිලි කරල නැති වුනත් ආදරය කියල දෙයක් පවතිනවා.ඒක සුළඟක් වගේ . පේන්නෙ නෑ. දැනෙනව විතරයි. අපි කොච්චර වයසට ගියත් ඒක නැති වෙන්නෙ නෑ.
මට හිතෙන්නෙ එහෙම❤

-විශ්-

3 comments:

  1. ඔබ නිවරදිව ලියලා තියනවා. මිනිස්සු සමාජයෙන් එන අපවාද නිසා ලොකේට හොරෙන් තනියම දුක්විදිමින් මිය යනවා. ආදරයට සමාජයක් වයසක් පාටක් කිසිම දෙයක් අදාල නැති දෙයක්.

    ReplyDelete
  2. ආදරේ කියන්නෙ හෝමෝන ටිකක් විතරක් නම්, අපිට මේ ලෝකෙ තනිවම ජීවත් වෙන්න බැරි නිසා පරිණාමය හෝ ජාන වලින් අපිට උරුම උන සාමාන්‍ය දෙයක් නෙමේද?

    ReplyDelete