Sunday, May 15, 2022

පාසල් සමයේ වෙසක් මතක

 

 

අපි ආසාවෙන්ම  වෙසක් සැමරුවෙ ඉස්කෝලෙ යන කාලේ. ලස්සනටම සරසන පන්තියටයි, ලස්සනම වෙසක් කූඩුව හදන පන්ති තුනටයි ඉස්කෝලෙන් තෑගි දෙනවා. ලස්සනම කූඩුවට චොක්ලට් බිස්කට් පෙට්ටියක්. දෙවෙනියට වේෆස් පෙට්ටියක්. තුන්වෙනියට මාරි පෙට්ටියක් . 


අපි මුලින්ම ඒකට කූඩුවක් හැදුවෙ 6 වසරෙදි. එදා ඉගැන්නුවෙත් නෑ. කූඩු හදන්නමයි දීල තිබුනෙ. අපේ පන්තියෙන් හැදුවෙ ලොකුම ලොකු අටපට්ටමක්. කොච්චර ලොකුද කියනව නම් අලවන්න ගෙනාපු කොලත් මදි වුනා. ඒත් ඉතුරු වුන කොල කෑලි ටිකක් මූට්ටු කරල කූඩුව කොහොමහරි  අලව ගත්තා. ඊට පස්සෙ ආවෙ රැළි දාන ප්‍රශ්නෙ. රැළි නොදා කූඩුව වෙසක් කූඩුවක් නෙමෙයි වගේ. ඒත් ඉතින් කොලත් ඉවරයි. අන්තිමට කපපු කොල කෑලි ටිකකින් අල්ලක් විතර උසට යට රැළි ටික දැම්මා. දැපැත්තට මොන රැලිද 😁


සද්ධන්ත කූඩුවෙ ගණන් බැස්සා රැළි අල්ලක් දැම්මට පස්සෙ. හැදුවට පස්සෙ අපිටම හිනා. අන්තිමට කවුරුත් බාරගන්න කැමති නෑ ඒක ඔෆිස් එකට බාර දෙන වැඩේ. එච්චරකට ලස්සනයි කූඩුව. ඒ සෑරේ නම් තෑගි තියා හුළනුත් නෑ .


මුලින්ම අපිට වෙසක් එකට තෑග්ගක් හම්බුනේ 10 වසරෙදි. තුන්වෙනි තැන. ඒ කියන්නෙ මාරි පෙට්ටියක්. ඒත් අපි බැහැලම කූඩුවක් හැදුවෙ 11 වසරෙදි. නිවාඩු දවසක් දාගෙන ක්ලාස් එකේ හැමෝම අපේ ගෙදර ඇවිත් හැදුවේ. රෑ එලි වෙනකන්ම වගේ වැඩ කරා. හැබැයි මහන්සි වුන තරමට ප්‍රතිඵල තිබුණෙ නෑ. ඇලවෙච්ච කූඩුවක් තමයි හැදිල තිබුණෙ. ඇලවෙන කූඩුව කියල නමකුත් දැම්ම නම් ෆස්ට් ප්ලේස් එකත් ලැබෙන්න තිබුන. 😅


අටපට්ටම් දෙකක් එකතු කරල උඩට පිරමීඩයක් සෙට් කරාම එන හැඩේ වගේ විකාරරූපී හැඩයක් තිබුණෙ.  පොඩි කූඩු ටිකකුත් හදල වටේට එල්ලුවා. ඒ මදි වගේ හිතුන නිසා තඩි නෙළුම් මලක් හදල කූඩුවම  ඒකට බැස්සුවා . ඇලෙව්වෙ හනස් , පත්තර කොල, පොල් කොළ වගේ ඉවත දාන දේවල් වලින්. කෙටියෙන්ම කීවොත් ඉතින් කූඩුව කැතයි 😁


ජජ් බෝඩ් එකට අපේ පන්තියෙන් විස්තර කරන්න හිටියෙ මං. අපිට තිබුණ එකම ප්ලස් පොයින්ට් එක ස්වභාවික දේවල් භාවිතා කරල හදල තිබුණ එක විතරයි . ඉතින් ඒකම හයිලයිට් කර කර විස්තර කරා. අන්තිමේ ඒ සැරෙත් මාරි පෙට්ටියක් හම්බුණා 😀


ඒ තමා අන්තිමට ඉස්කෝලෙදි වෙසක් කූඩු හදපු අවුරුද්ද. 12 වසරෙදි  සාරාර්ථ එක්සිබිශන් එක තිබුණ නිසා වෙසක් සමරන්න වුනේ නෑ. 13 වසරෙදි වෙසක් තිබුණද කියල මතකයක් නෑ 🤔.


ඒ ලෙවල් කාලෙට වඩා මං තාමත් ආස ඕලෙවල් කාලෙට.  නිදහසේම හිටියේ ඒ කාලෙ.  සෑහෙන බැරෑරුම් වැඩ වගේ පෙනුනට දැනුත්  මතක් කර කර හිනා වෙන්න තියෙන්නෙ ඕලෙවල් කාලෙ කරපු වැඩ තමයි.


ෆොටෝ එකේ ඉන්නෙ අපේ ඕලෙවල් පන්තිය 9 වසරෙ ඉදන් පන්තිභාර හිටිය මැඩම් එක්ක ❤️

6 comments:

  1. බොහොමත්ම ස්තූතියි! ඔබ නැවතත් ලියන්නට පටන් ගෙන!! මෙතෙක් ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ "පුරා වස්තු 1-3 දක්වා නොලියවුනු" කොලමේ දක්වා තිබුනු අතර මේ වන විට එය "බ්ලොග් සඟරා" කොලමේ පෙලගස්වා ඇත. අපගේ සඳකඩ පහන සින්ඩිය යනු මෙරට අවකශයේ පවතින විශාලතම සින්ඩියයි. දැනට ලියන හා නොලියවන බ්ලොග් 1230 ක් එහිදක්වා ඇත! අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය තුල ප්‍රචාරයක් ලබා දෙන්නේ නම් ස්තූති වන්ත වෙමි!

    ReplyDelete
  2. පාසැල් වල වෙසක් කූඩු තරඟ දිනන්න නම් තමන්ට වඩා හොඳ කූඩු තියෙන පන්තිවලට ගිහිල්ල ඒවා කඩාකප්පල් කරන්න කණ්ඩායමක් දාන්නත් ඕන. හෙහ් හෙහ්. විහිළුවට කිව්වෙ. පාසැල් කාලේ ගණිතය තරඟයකදි ඒ හා සමාන දෙයක් වුනා. නැවත ලිවීම හොඳයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අන්කල් ඉයන් ❤️🌹

      Delete
  3. මේ වෙසක් පෝස්ට් ඒක දැක්කේ පස්සේ. මාත් පොඩි වෙසක් සැමරුම් ටිකක් ලිව්වා ඔන්න.
    https://hotchocolatedays.blogspot.com/2022/05/blog-post_17.html

    අපිත් ඒක සැරයක් වෙසක් කුඩු තරඟයකට නසරානි වැඩක් කරලා පනිෂ් උනා. පනිෂ්මන්ට් ඒක තමයි වෙසක් දවසේ ඉස්කෝලේ ඇවිත් බුදු මැදුර සරසන එක! :D
    දිගටම ලියමු!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි . කියවමු ඔයාගෙ එකත් ❤️

      Delete